Blog Archives

2023 මැයි දින ප‍්‍රකාශනය – ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

මධ්‍යම කාරක සභාව

ලෝක නිර්ධන පංති මැයි දිනය දිගුකල් දිනේවා!

ලෝකය පුරා පැතිරී යන අවපාත තත්වය යටතේ ජීවිත අස්ථාවර වෙමින් පවතින නිර්ධන පංතිය ඒකාබද්ධ කරමු!

අධිරාජ්‍යවාදී යුධ තර්ජනයට එරෙහිව සටන් කරමු!

අධිරාජ්‍ය විරෝධී අරගල තීව‍්‍ර කරමු!

ලෝකයේ ආදරණීය කම්කරුවනි!

‘‘ලෝකයේ කම්කරුවනි, සමගිවව්, වහල්භාවයේ විලංගු හැර නිර්ධන පංතියට නැති වීමට කිසිවක් නැත’’ යනුවෙන් අපගේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් වන මාක්ස් සහ එංගල්ස් විසින් ප‍්‍රකාශ කරන ලදි. මැයි දිනය යනු සිය වීරෝදාර අරගලයෙන් තම සැබෑ අයිතීන් දිනාගත් ලෝක නිර්ධන පංතියේ දිනයයි. පසුගිය වසර 137 පුරාවට ලෝක ව්‍යාප්ත කම්කරු පන්තිය මහත් අධිෂ්ඨානයෙන් හා විප්ලවවාදී උද්යෝගයෙන් මෙම දිනය සමරයි. ඔවුහු තම අයිතීන් මර්දනය කිරීමට එරෙහිව සහ තම සාධාරණ ඉල්ලීම් ඉටුකර ගැනීමට ඉතා සටන්කාමී අරගලවල නිරත වෙමින් සිටී. මේ ලෝක මැයි දිනයේ දී, නිර්ධන පංති දිනයේ දී, ලෝකයේ කම්කරු පන්තියට අපගේ හොඳම රතු ආචාරය ප‍්‍රකාශ කරමු. ලෝක සමාජවාදය වෙනුවෙන් සිය වටිනා ජීවිත කැප කළ අයට අපගේ ශ්‍රේෂ්ඨ උපහාරය පුද කරමු.

පසුගිය සියවස නිර්ධන පංති විප්ලවයන්හි සාර්ථකත්වයේ සියවස විය. රුසියාවේ සහ චීනයේ විප්ලව හැරුණු විට ලෝකයේ බොහෝ රටවල කම්කරු පන්තියේ විප්ලවයන් සාර්ථක වූ අතර සමාජවාදී කඳවුරක් ගොඩනැගුණි. ලෝක ගෝලයේ හයෙන් එකක් මත රතු ධජ වේගයෙන් පැතිරී ගියහ. නමුත් මෙම ජයග‍්‍රහණයන් වැඩි කලක් පැවතියේ නැත. නිර්ධන පංතියේ දේශපාලන බලය සහ ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය පරාජයට පත් විය. විප්ලවවාදී පක්ෂ සහ කම්කරු පන්තියේ ආණ්ඩු තුළ සංශෝධනවාදීන් ශක්තිමත් වී බලය අල්ලාගත්හ. මෙය කම්කරු පන්තියේ ඛේදවාචකයයි.

පළමුවෙන්ම සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තුළ සෝවියට් සමාජ අධිරාජ්‍යවාදයේ මතුවීමත් සහ, පසුව චීනය ඉතිහාසයේ නව සමාජ අධිරාජ්‍යවාදී රටක් බවට පත්වීමත් සමග ලෝකයේ සමාජවාදී කඳවුර අවසන් විය. එසේ තිබියදීත් තවමත් ලෝකය පුරා කම්කරු පන්ති ව්‍යාපාර ක‍්‍රියාත්මක වෙමින් පවතී. ලෝකය පුරා අධිරාජ්‍ය විරෝධී මහජන අරගල ද තීව‍්‍ර වෙමින් පවතී. අනෙක් අතට ලෝකය මුලූල්ලේ විවිධ රටවල නව මාඕවාදී පක්ෂ මතුවෙමින් තිබේ. මෙය අද දවසේ ප‍්‍රවණතාවයක් වී ඇත. මෙම අරගල සහ නව ප‍්‍රවනතාවය බිඳ දැමීමට සංශෝධනවාදීන් සහ නව සංශෝධනවාදීන් ධනේශ්වර පන්තිය සමග සහයෝගයෙන් කටයුතු කිරීම එයට ඇති ප‍්‍රධාන අනතුරයි. ඔවුන්ව හෙළිදරව් නොකර ඔවුන්ගේ කූටෝපායන් පරාජය කිරීමෙන් තොරව, කම්කරු පන්තියට දේශපාලන බලය අත්පත් කර ගැනීමේ ඉලක්කය සහිතව සිය අරගල ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇත. මෙම මැයි දිනයේදී, සියලූ රටවල විප්ලවවාදී නිර්ධන පංතියේ දියුණු කොටස් එහි අනතුර හඳුනාගෙන, කම්කරු පන්තියට ඒ පිළිබඳව අනතුරු අඟවා කම්කරු පන්ති අරගල තීව‍්‍ර කිරීම සඳහා වත්මන් විප්ලවවාදී තත්ත්වයන් වඩා හොඳින් භාවිතා කරනු ඇතැයි අපට දැඩි විශ්වාසයක් පවතී.

ආදරණීය නිර්ධන පන්ති සහෝදරවරුනි,

පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා කම්කරු පන්ති ව්‍යාපාරය වසරින් වසර වර්ධනය වෙමින් පවතී. අද ලෝකය දැඩි අවපාත තත්ත්වයන් තුළ එරීගොස් ඇති අතර සියලූම රටවල කම්කරුවන්ගේ ජීවිත ඉතා දුක්ඛිත තත්ත්වයට පත්වෙමින් තිබේ. දැන් නැවත වරක් බැංකු කඩා වැටීම ආරම්භ වී තිබේ. ඇමරිකාවේ තුන්වන විශාලතම බැංකුව වන සිලිකන් වැලි බැංකුවේ කොටස් අගයන්හි දැවැන්ත පහත වැටීම හේතුවෙන් කඩා වැටුණි. බැංකු බිඳවැටීම ලෝකය පුරා ආර්ථිකයන් විනාශ කර නැවත අස්ථාවර කරනු ඇත. අනෙක් අතට, පසුගිය වසර තුන පුරා අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද කොවිඩ්-19 වසංගතය කම්කරු පන්තිය ඇතුළුව සමස්ත මහජනතාවම අස්ථාවර කර ඇත. කොවිඩ් හි විවිධ ප‍්‍රභේද සමග තවමත් ලෝකය පීඩා විඳිමින් සිටී. එන්නතේ නාමයෙන් අධිරාජ්‍යවාදීන් වැඩකරන ජනතාව කොල්ල කෑ නමුත් කිසිදු එන්නතකට වසංගතය සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි විය. කොවිඩ් සමයේ රජයන් විසින් ක‍්‍රියාත්මක කරන ලද අගුලූ දැමීමේ ප‍්‍රතිපත්ති නිසා දුප්පත් කම්කරුවන්ගේ ජීවිත විශාල වශයෙන් විනාශ විය. ලොව පුරා සූරාකෑමේ ආණ්ඩු අවපාත කාලවලදී මහා සංස්ථා සමාගම් බේරා ගැනීමට විශාල වැඩ කොටසක් සිදු කළහ. නමුත් කිසිදු රජයක් වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවගේ සුබසාධනය ගැන සැලකිලිමත් වී නැත. දුප්පතුන් සහ වෙහෙසී වැඩ කරන අය ගලවා ගැනීම සඳහා පුළුල් ප‍්‍රතිපත්ති නිර්මාණය කොට නැත. එබැවින් ආණ්ඩුවල කපටි ස්වභාවය හඳුනාගත් කම්කරු පන්තිය ඊට එරෙහි අරගලය තීව‍්‍ර කිරීමට සුදුසුම කාලය මෙයයි.

පසුගිය වසරේ සිට අධිරාජ්‍යවාදීන් විසින් ඇවිලවූ යුද ගිනිදැල්වලින් ලෝකය ඇවිලෙමින් පවතී. එක් පසකින් අධිරාජ්‍යවාදී රුසියාව සහ අනෙක් පසින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සහ එහි නේටෝ හවුල යුකේ‍්‍රන භූමිය විනාශකාරී ලෙස ගිනිතබමින් යුද්ධයේ අළු බවට පත් කරයි. අධිරාජ්‍යවාදී රුසියාව විශේෂ මිලිටරි මෙහෙයුමක් යන නාමයෙන් යුකේ‍්‍රනයට එරෙහිව දියත් කොට ඇති යුද්ධය හෙළා දැකිය හැකි එකකි. ඒ අතර එක්සත් ජනපදය සහ එහි මිත‍්‍ර නේටෝ යුද වෙළෙන්දන් විනාශකාරී ප‍්‍රතිඵලවලට තුඩු දෙන විනාශකාරී යුද ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම වනාහි වඩාත් බැරෑරුම් ලෙස හෙළා දැකිය හැකිය. යුද්ධයේ ප‍්‍රතිවිපාකත් සමග දෙරටේම ජනතාව බරපතළ ගැටලූවලට මුහුණ දෙමින් සිටිති. මේ වන විට යුක්රේනයේ මියගිය සංඛ්‍යාව ලක්ෂ 1.5 ඉක්මවන බව වාර්තා වේ. මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී සරණාගතයින් ලෙස සංක‍්‍රමණය වී ඇත. යුක්රේනයේ කෙත්වතු සොල්දාදුවන්ගේ සහ මිනිසුන්ගේ රුධිරයෙන් තෙත් වෙමින් තිබේ. එහෙත් නව නාසි සෙලෙන්ස්කි සාකච්ඡා සඳහා පවා සූදානම් වෙන අතරතුර එක්සත් ජනපදයේ සහ එහි නේටෝ සන්ධානයේ සහාය ඇතිව නව සාර්වාදී රුසියාව සමග සටන් කිරීමට තම හමුදාවන් සහ ජනතාව දිරිමත් කරයි. මෙම යුද්ධයේදී, යුධ ව්‍යාපාරික ආයතන සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ප‍්‍රධාන වශයෙන් අතිදැවැන්ත ලාභයක් ලබන බව අතිශයින් පැහැදිලිය. පසුගිය වසරක යුද්ධයේ දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදියා පමණක් ඩොලර් බිලියන 30කට වැඩි යුදමය ද්‍රව්‍ය යුකේ‍්‍රනයට ආධාර යන නාමයෙන් ලබා දී ඇති අතර එයින් පෙන්නුම් කරන්නේ එහි ලාභයේ තරමයි. ලෝකයේ කම්කරු පන්තිය මේ යුද්ධය වහා නතර කරන ලෙස සිය හඬ නගමින් සිටී. ලෝකයේ බොහෝ රටවල යුද්ධයට එරෙහිව මහජන උද්ඝෝෂණ අඛණ්ඩව පවතී. පවතින යුද්ධයට එරෙහිව ඔවුන් සිය හඬ අවදි කළ යුතුය. එම දිශානතිය ඇතිව මැයි දිනය නිමිත්තෙන් සියලූම රටවල කම්කරු පන්තිය දැඩි තීරණයක් ගැනීම මේ මොහොතේ අවශ්‍යතාවයයි.

ලොව පුරා කම්කරු පන්ති ව්‍යාපාරවල හදිසි නැගීමක් පවතී. මේ අතර, වැඩි වැටුප් සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන ලෙස ඉල්ලා බි‍්‍රතාන්‍යයේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් මෙම දශකයේ පෙර නොවූ විරූ ලෙස වැඩවර්ජනයක යෙදී සිටිති. ප‍්‍රංශයේ කම්කරු පන්තිය තම ඉල්ලීම් වෙනුවෙන් වීදි බැස සටන් කරයි. යුරෝපයේ සහ ඇමරිකාවේ සියලූම රටවල කම්කරුවන් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටුකර ගැනීමට අරගල කරමින් සිටිති. ඉන්දියාවේද සියලූම වර්ගයේ රාජ්‍ය සේවකයන් වැඩවර්ජනවලට යොමුවෙමින් සිටිති. ප‍්‍රධාන වශයෙන් ලක්ෂ සංඛ්‍යාත කොන්ත‍්‍රාත් සේවකයෝ, අංගන්වාඩි සේවකයෝ, ආශා සේවකයෝ, සනීපාරක්ෂක සේවකයෝ සහ සෞඛ්‍ය සේවකයෝ සිය වැටුප් වැඩිකර ගැනීමට සහ රජයේ සේවකයන්ට සමානව සැලකිලි ලබා ගැනීමට සහ රැකියා ස්ථීර කරගැනීම සඳහා වැඩ වර්ජනයේ නිරත වෙමින් සිටී. ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ගොවීන් ද පෙර නොවූ විරූ ආකාරයෙන් අරගල කරමින් සිටිති. දකුණු ආසියාවේ ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රී ලංකාව සහ පකිස්ථානය ආර්ථික අර්බුදයක මුල් බැස ඇති අතර, දිළිඳු හා පීඩිත ජනතාව ඉහළ යන භාණ්ඩ මිල ගණන් නිසා පීඩාවට පත්ව සිටිති. අප‍්‍රිකාවේ සහ ලතින් අමෙරිකානු රටවල ද කම්කරු ජනතාව තම සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරති. අද ලෝකය කම්කරු පන්තියේ වැඩ වර්ජනවලින් දැවෙමින් තිබේ. තවත් පැත්තක් නම් කම්කරුවන් රැකියාවලින් ඉවත් කිරීම ලෝකයේ සංසිද්ධියක් බවට පත්ව ඇත. විශාල සංස්ථාවල ශ‍්‍රමිකයින් විශාල වශයෙන් ශක්තිමත් වෙමින් තිබේ. ඔවුන් සිය යුක්තිසහගත ඉල්ලීම් ඉදිරිපත් කරමින් පාරට බසිමින් සිටී. මෙම අරගල මෙහෙයවීම සඳහා කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂවල අවශ්‍යතාවය මතුවී ඇත. සුදුසු ආකාරයේ අරගලයන් සහ සංවිධාන ව්‍යුහයන් තුළ කම්කරු පන්තිය ගොනු කිරීමට මේ සුදුසුම කාලයයි. සියලූම සටන්කාමී අරගල දේශපාලන බලය අත්පත් කරගැනීමේ දේශපාලනයෙන් සන්නද්ධ විය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, කම්කරු පන්තිය, වැටුප් තුළ ඩොලර් කිහිපයක වැඩිවීමකින් සෑහීමකට පත්ව, දශක ගණනාවක් තිස්සේ ආර්ථිකවාදයේ සහ ප‍්‍රතිසංස්කරණවාදයේ සිරවී, සංශෝධනවාදී දේශපාලනයේ ගොදුරක් බවට පත්වනු ඇත. එමනිසා මැයි දිනයේදී අපි එය සිදු නොකරන බවට රතු ධජය අපේ දෑත් මත තබාගෙන දිවුරුම් දෙන්නෙමු.

අධිරාජ්‍යවාදීන් විසින් උසිගන්වන ලද යුක්රේන යුද්ධය අවසන් වන බවක් පෙනෙන්නට නැත. ඔවුහු ලෝක යුද්ධයක තර්ජනය උත්සන්න කරමින් සිටියි. න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය ද ඉහළ යමින් පවතී. ලෝකයේ අධිරාජ්‍යවාදී යුද්ධයට ගොදුරක් වූ රට යුක්රේනය පමණක් නොවේ. යේමනයේ මිනිසුන් මිලියන ගණනක් මිය යමින් සිටිති. බොහොමයක් රටවල, මිලියන සංඛ්‍යාත ජනතාව අධිරාජ්‍යවාදී යුද්ධවල අවශ්‍යතාවයන් සඳහා ගොදුරු බවට පත්වෙමින් තිබේ. තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්ති නිසා ලෝකය වඩාත් කැළඹී ඇත. අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්ති නිසා පාරිසරික අර්බුදය එන්න එන්නම උත්සන්න වී ඇත. අධිරාජ්‍යවාදී යුද්ධ කම්කරු පන්තියේ දුක් වේදනා වැඩි වීම පිටුපස ඇති එක් ප‍්‍රධාන හේතුවකි. අද ඇතිවී තිබෙන අර්බුදයට මූලික හේතුව ද එයමය. කම්කරු පන්තියේ අයිතීන් උල්ලංඝණය කිරීමට මෙන්ම ලොව පුරා සිදුවන සමූලඝාතනවලට ද එකම හේතුව අධිරාජ්‍යවාදයයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් විසින් පමණක් තනිව ඉතිහාසයේ මෙහෙයවන ලද යුද්ධ ප‍්‍රමාණය 300කට වැඩිය. එය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මරා දැමූ ජාතියක් බවට පත්කොට ඇත. එයට අවශ්‍ය වන්නේ ලෝක ආධිපත්‍යය පිළිබඳ තම ආශාව ඉටු කර ගැනීමටත්, එමගින් අතිවිශාල ලාභයක් ලබා ගැනීමටත් ය. එය කිසිවිටෙක ලෝකය විනාශ කර දැමීමට පසුබට වන්නේ නැත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගනු ලැබූ සෑම තනි පියවරක්ම එක් හෝ අන් ආකාරයකින් ලෝකයේ කොතැනක හෝ විනාශකාරී යුද්ධයකට මග පාදයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සහ එහි සාම්ප‍්‍රදායික මිතුරන් වන යුරෝපය එක් පසකින් ද, රුසියානු අධිරාජ්‍යවාදීන් සහ චීනය අනෙක් පසින්ද ලෝකය යලි බෙදාගැනීමට දැඩි කෑදරකමින් සිටිති. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුළු ලෝකයම විනාශකාරී යුද්ධයෙන්, අර්බුදයෙන්, අවපාතයෙන්, කුසගින්නෙන්, දරිද්‍රතාවයෙන්, පීඩනයෙන්, විරැකියාවෙන් හා මිල ඉහළ යාමෙන් පීඩා විඳිති. යුද්ධයෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීමට අපි උත්සාහ කරමු. නමුත් අධිරාජ්‍යවාදය  අවසාන් කිරීමෙන් තොරව එය සිදුකළ නොහැකිය. එබැවින් අධිරාජ්‍ය විරෝධී සටන්කාමී අරගල තව දුරටත් තීව‍්‍ර කරමු. එය සෑම ආකාරයකම සංශෝධනවාදීන්ගෙන් සහ ආර්ථිකවාදයෙන් සහ ප‍්‍රතිසංස්කරණවාදයෙන් වරදට බැඳීමෙන් වළක්වා ගැනීමට විප්ලවවාදී දේශපාලනයෙන් සන්නද්ධ කරමු.

ලෝකයේ සමහර රටවල, විශේෂයෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සහ දක්ෂිනාංශික පක්ෂ සහිත එහි යුරෝපීය මිත‍්‍ර රටවල් වර්ගවාදය ප‍්‍රවර්ධනය කරමින් සිටී. බොහොමයක් රටවල ෆැසිස්ට්වාදයේ අනතුර වැඩි වෙමින් පවතී. පසුගිය වසර 10 පුරාවටම ඉන්දියාවේ බලයේ සිටින හින්දුත්ව බලවේග ඔවුන්ගේ ෆැසිස්ට් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් සිටී. රටේ විවිධත්වය නැති කිරීමට ඔවුහු තම ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති රටේ ජනතාව මත පටවවයි. පසුගිය දශක පහකට අධික කාලයක් රටතුළ පැවැති මහජන යුද්ධය මුලූමනින්ම තුරන් කිරීමේ අවසන් දිනය 2024 වර්ෂය ලෙස ඔවුන් විසින් ප‍්‍රකාශ කොට ඇත. මාඕවාදී ව්‍යාපාරය පවතින ප‍්‍රදේශ ඩ්‍රෝන් ප‍්‍රහාර, හෙලිකොප්ටර් වෙඩි තැබීම් සහ ලක්ෂ සංඛ්‍යාත පොලිස් සහ පැරාමිලිටරි හමුදා යෙදවීම මගින් මර්දනය කෙරේ. පිලිපීනයේ දශක ගණනාවක් පුරා පැවති විප්ලවවාදී ව්‍යාපාරය අවසන් කිරීම සඳහා ජූනියර් මාකෝස්ගේ ආණ්ඩුව පෙර නොවූ විරූ ආකාරයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහාය ඇතිව මර්දනය වැඩි කරමින් සිටී. තුර්කිය, පේරු සහ තවත් සමහර රටවල සිදුවෙමින් පවතින මහජන යුද්ධ නැවැත්වීම සඳහා, එම රාජ්‍යයන්වල කොම්ප‍්‍රදෝරු පාලක පන්ති අධිරාජ්‍යවාදීන්ගේ මගපෙන්වීම සහ සහය යටතේ ප‍්‍රහාර තීව‍්‍ර කරමින් සිටී. පලස්තීනය සහ විවිධ ජාතික ව්‍යාපාර ද දශක ගනනාවක් තිස්සේ තලා දමමින් තිබේ. නමුත් ඔවුන්ගේ අරගල දිගටම සිදුවෙමින් පවතී. අධිරාජ්‍යවාදීන්ට සහ කොම්ප‍්‍රදෝරු නිලධාරිවාදී ධනේශ්වර පන්තියට සහ වැඩවසම්වාදයට එරෙහිව සිය රටවල මහජන යුද්ධ සහ ජාතිකවාදී ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යන ජනතාව සමග අපි දැඩිව නැගී සිටිමු. මෙය නිර්ධන පංතියේ කාර්යභාරයන්ට බැඳී ඇති කාර්යයකි. මැයි දිනය නිමිත්තෙන් කම්කරු පන්තිය ඒ ඒ රටවල පවතින විප්ලවවාදී අරගල ඒකාබද්ධ කිරීමට සහ අන්‍යෝන්‍ය සහෝදරත්වයේ ව්‍යාපාර වැඩි කිරීමට දිවුරුම් දිය යුතුය. කම්කරු පන්තියේ සෑම පියවරක්ම දේශපාලන බලය අල්ලා ගැනීමේ විප්ලවවාදී දේශපාලනයේ දිශාව දෙසට ගමන් කළ යුතුය. මෙම මැයි දිනය ලෝක ගෝලයෙන් අධිරාජ්‍යවාදය අවසන් කිරීමේ දිශානතිය ඇතිව සිය අරගල තීව‍්‍ර කිරීම සඳහා කම්කරු පන්තිය විසින් අරගල දිනය ලෙස සැමරිය යුතුය.

නිර්ධන පංති මැයි දිනය දිගුකල් දිනේවා!

x              සංශෝධනවාදය සහ නව සංශෝධනවාදය භංගවේවා!

x              අධිරාජ්‍යවාදය භංගවේවා!

x              ලෝක යුද්ධයේ/පරමාණුක යුද්ධයේ අනතුරට එරෙහිව සටන් කරමු!

x              පවතින මහජන යුද්ධවලට සහය දැක්වීමට ස්ථීරසාරව නැගී සිටිමින් ඒවාට සහය පිණිස ශක්තිමත් සහයෝගීතා ව්‍යාපාර ගොඩනගමු!

විප්ලවීය සුභ පැතුම්,

අම්රුත්,

ජාත්‍යන්තර කටයුතු කමිටුව

මධ්‍යම කාරක සභාව,

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

අත්සන් කරන ලද පක්ෂ සහ සංවිධාන

කොමියුනිස්ට් කම්කරු සංගමය (මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී) – කොලොම්බියානු

ගැලීෂියාවේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඉදිකිරීමේ කමිටුව

මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ඉතාලිය

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂය

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

නේපාල කොමියුනිස්ට් පක්ෂය (බහුතර පාර්ශවය)

නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී-විප්ලවවාදී)

ඉරාන රතු මාවත (මාඕවාදී කණ්ඩායම)

පුර්බා බංග්ලා නිර්ධන පන්ති පක්ෂය -බංගලාදේශය

තුර්කි කොමියුනිස්ට් පක්ෂය මාක්ස්-ලෙනින්වාදී

බල්ගේරියානු ගොවි කම්කරු පක්ෂය

මාඕවාදී විප්ලවීය ලීගය – ශ‍්‍රී ලංකාව 

රුසියානු මාඕවාදීන්

ස්විට්සර්ලන්ත කොමියුනිස්ට් පක්ෂය

තරුණ කොමියුනිස්ට් ලීගය – ස්විට්සර්ලන්තය