Category Archives: Dawn

ජනතා සටන්කාමීත්වයේ සංකේතය – 1953 අගෝස්තු හර්තාලය

PDF File: 1953 අගෝස්තු හර්තාලය (88KB)

අරුණළු

ප‍්‍රකාශන

අංක : 02

ජනතා සටන්කාමීත්වයේ සංකේතය

1953 අගෝස්තු හර්තාලය

එක්දහස් අටසිය හැට ගණන්වල සිට ලංකාවේ විවිධ මට්ටමේ විවිධ ක්‍ෂෙත‍්‍ර තුළ වැඩවර්ජන සිදු කෙරුනි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයන්ට අප රටට ‘‘ඩොමීනියන්’’ ආණ්ඩු ක‍්‍රමයක් ලබාදීමට තරම් බලපෑමක් කළ එක් සාධකයක් වූයේ 1946 සහ 1947 වසරවල මෙරට කම්කරු පංතිය ප‍්‍රමුඛ අන් පීඩිත සංවිධානාත්මක වැටුප් ශ‍්‍රමිකයන් දියත් කළ මහා වැඩවර්ජනයි. එම අරගල හුදෙක් වෘත්තීය සටන් වූ හෙයින් බහුජන සහභාගීත්වය පිළිබඳ වැඩි අවශ්‍යතාවයක් පැන නොනැගුණි.

එහෙත් බහුජන සටනක් වශයෙන් දියත් කෙරුණු ‘‘1953 අගෝස්තු හර්තාලය’’ මෙරට ජනතාවගේ පංති හා දේශපාලන සටන් ව්‍යායාමයන්ට නව අත්දැකීමක් වූවා පමණක් නොව, විප්ලවවාදී දේශපාලනයකට අවශ්‍ය නව මං විවෘත කළ ඓතිහාසික සන්ධිස්ධානයක් වූ බවත් වටහා ගනිමින් අගෝස්තු හර්තාලය දෙස ආපසු හැරී බලමු.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට ජනතාව මත පැටවූ ධනේශ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනයට අභියෝග කළ, ජනතා ශක්තිය මෙය යැයි මොනවට කියා පෑ අප රටේ ග‍්‍රාමීය හා නාගරික පීඩිත ජනතාවන්ගේ ප‍්‍රථම මෙන්ම තීරණාත්මක අරගලය ලෙස ඉතිහාස ගතවී ඇති හර්තාලය ක‍්‍රියාත්මක වී දශක හයක්, ඔව්, වසර 60 ක් ගතවී හමාරය. එහෙත් එදා ජනතාව ජීවිත පරිත්‍යාගයන් තුළින් ජීවය ලබා දෙමින් දිනාගැනීමට උත්සාහ කළ මනුෂ්‍යත්වය රජ වූ නව ලෝකය ගොඩනගා ගැනීමට හෝ එවැන්නක් සඳහා අවශ්‍ය වන මූලික පදනම් ගොඩනගාගැනීමට හෝ අද වන තුරුත් අපොහොසත් වී ඇති බව ද බැහැර නොකර හර්තාලය ගැන අධ්‍යයනය කිරීම වැදගති.

ඒ ශ්‍රේෂ්ඨ ජනතා නැගිටීම සමරණ අද වැනි දිනක මෙරට වත්මන් මාක්ස් ලෙනින්වාදීන් තම අවධානය යොමු කළ යුත්තේ කිනම් අරමුණක් සපුරා ගැනීමටද? තමන් මෙතෙක් කළ පංති හා දේශපාලන සටන් තුළින් ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින්, තම දේශපාලන කටයුතු පිළිබඳ විවේචනාත්මකවත්, විචාරාත්මකවත් බලමින් නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනගා ගැනීමට හර්තාලයේ ජීවය යොදා ගන්නේ කෙසේද යන්න විමසා බැලීමට නොවේද? එම අත්දැකීම් මෙරට නිර්ධන පංති දේශපාලනය ජයග‍්‍රාහී මාවතකට යොමු කිරීමට යොදාගත හැකිය. විශේෂයෙන් නාගරික හා ග‍්‍රාමීය පීඩිත ජනතාවන්ගේ පංති හැඟීම් අවදි කිරීමටත්, කම්කරු පංතිය ධනේශ්වර පාර්ලිමේන්තුවාදී හා වෘත්තීය සමිතිවාදී දේශපාලනයෙන් මුදවා ගැනීමටත් මෙම සැමරීම ප‍්‍රබල උත්පේ‍්‍රරකයක් මෙන්ම ජීවී ශක්තියක් බවට පත් කරගත හැක.

විශේෂයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය කම්කරු පංතිය ප‍්‍රමුඛ අන් වැටුප් ශ‍්‍රමිකයන් නිර්ධන පංති දේශපාලනය වෙත යොමු කරවන ගමන්මග හා දොරටුව බවට පත්කරවීමටත්, අන් පීඩිත ජන කොටස් ස්වශක්තිය කෙරහි විශ්වාසය තබා තමන් නිරත වන ක්‍ෂේත‍්‍ර තුළ එම ක්‍ෂේත‍්‍රයන්ට ආවේණික වු වෘත්තීය හා දේශපාලන ක‍්‍රියාමාර්ගයන් නිර්මාණය කරමින් නිර්ධන පංති දේශපාලනයට නව මං විවෘත කරදීමට යොමු කරවීමටත් හර්තාලය සැමරීම තරම් ප‍්‍රබල හා වැදගත් වෙනත් සංසිද්ධියක් ලාංකීය දේශපාලන වංශ කතාව තුළ හමු නොවෙතැයි කීවද එය නිවැරදිය.

1815 අප බි‍්‍රතාන්‍යයන්ට යටත් වූවායින් පසු ඔවුනට එරෙහිව කලින් කලට සිදු කළ විවිධ කැරලි ගැසීම් හා සටන්කාමී නැගිටීම්, එනම්, 1818, 1848, 1915, මෙන්ම 1946, 1947 වැඩවර්ජනත්, ඉන්පසු 1966 හා 1980 දියත් කළ මහා වැඩවර්ජනත් සමඟ සැසඳීමේදී 1953 අගෝස්තු හර්තාලයට හිමිවන්නේ අද්විතීය මෙන්ම විශේෂ ස්ථානයකි. මෙම සත්‍යය ධනේශ්වර ඉතිහාසඥයින් විවෘතව හුවා නොදක්වන්නේ එහි පංති ස්වරූපයත්, එමගින් ධනේශ්වරයට කෙරුණු විවෘත අභියෝගයත් නිසාවෙන් බව තරයේ ග‍්‍රහනය කරගත යුතුය.

1818 කැරැල්ල ජනතාව යටත්විජිතවාදීන්ට එරෙහිව දියත් කළ නැගිටීමක් වුවත්, (පීඩිත ප‍්‍රදේශයන්ගේ ජනතාව වැඩිවන මර්දනයට හා පීඩනයට එරෙහිව සිදු කළ නැගිටීමක් වුවත්) වරප‍්‍රසාද අහිමි රදළ නායකයින් විසින් තවත් රදළයෙකු සිංහාසනාරූඩ කරවීමට දැරූ ප‍්‍රයත්නයක් බවට පත්වී තිබුණි. එය ඉතිහාසය ආපස්සට ගෙන යාමට කළ උත්සාහයක් හා සමාන වූවකි.

එසේ වුවත් 1848 කැරැල්ල 1818 කැරැල්ලට වඩා විශේෂ වන්නේ එය සමාජ සංවර්ධනයට අනුකූල වන නවීන පරමාර්ථයන් පදනම් කරගනිමින් දියත් කළ කැරැල්ලක් වූ හෙයිනි.

ඒ වන විට කන්ද උඩරට රාජධානියේ පාලක පංතියව සිටි රදළ කොටස් බෙලහීන බලවේගයක් බවට පත්වී තිබීමත්, පංතියක් වශයෙන් වර්ධනය වන ධනපති පංතිය ජනතාවගේ ඉඩම් කොල්ලකෑමටත්, බලෙන් අයිතිය පැහැර ගැනීමටත් යොමු වූ නිසාවෙන් ගම්බද ජනතාව දියත් කළ ප‍්‍රබල සටනකි, 1848 කැරැල්ල. එහෙත් මෙම නැගිටීමට නායකත්වය දීමට පුද්ගලික නායකයන් හා ප‍්‍රාදේශීය නායකයන් ඉදිරිපත් වුවද, සංවිධානාත්මක පංතිමය නායකත්වයක් නොතිබීම මෙහි පරාජයට ප‍්‍රධාන හේතුව වුණි.

කන්ද උඩරට රාජධානිය තුළ නායකත්වයේ සංකේතය ලෙස ජනතාව දුටු රදළ නායකත්වය මෙම කැරැල්ල තුළ නොතිබුනි. කිරුළු පළඳා රාජ්‍යත්වයට පත් කළත් ගොන්ගාලේගොඩ බණ්ඩා සහ පුරන් අප්පු පහත රට සාමාන්‍ය ජනතාවගෙන් මතු වූ නිසාවෙන් ඔවුනට කන්ද උඩරට රදළයින්ගේ පූර්ණ සහය නොලැබීමත්, එම රදළ බලවේග හා බැඳි ජනතාව මෙම නායකත්වය නොපිළිගැනීමත් නිසාවෙන් මෙම කැරැල්ලද පරාජය වූවා පමණක් නොව මෙම කැරැල්ල නිසා වියලි කලාපයට පසුබෑ කැරැල්ලේ සටන්කාමීන් වෙනුවෙන් සමාජමය බලපෑමක් නිර්මාණය කිරීමට තරම් ශක්තියක් හෝ එහි නොතිබීම විශේෂ ලක්‍ෂණයක් ලෙස අප දැකිය යුතුය. එය සමාජ සංවර්ධනය හා ජන විඥාණය වර්ධනය වන ආකාරය වටහාගැනීමට උපයෝගී කරගත හැකි කදිම ආදර්ශයක් වනු ඇත.

කෙසේ වෙතත් මෙම කැරැල්ලෙහි වූ සාමාන්‍ය ජනතාවගෙන් මතු වූ නායකත්වයත්, ජනතාවගේ වීරෝදාර සටන්කාමීත්වයත්, (මාතලේදී බි‍්‍රතාන්‍යයන් ලැබූ පරාජය කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීමෙන් පසු ඔවුන් ලැබූ දරුණුම පරාජය ලෙස සැලකේ.) අප රටේ ජනතාව තම ස්වෛරීභාවය හා නිදහස කෙරෙහි දක්වන බැඳීම, ගරුත්වය හා කැපවීම මොනවට සනාථ කරන ඓතිහාසික අවස්ථාවක් බවත් පිළිගත යුතු සත්‍යයකි.

1915 සටන 1818 හා 1848 සටන් සමඟ සැසඳීමේදී පැහැදිලි ලෙස දැකිය හැකි වෙනසක් වන්නේ එම සටනේදී ඒ වන විට අප රටේ නැගී එන ධනපති පංතියේ දේශපාලනමය සහභාගීත්වය හා එහි ස්වරූපයත් හෙළිදරවු වීමයි. ආගමික හා වාර්ගික ප‍්‍රතිවිරෝධයන් මතු වීමත්, එම ප‍්‍රතිවිරෝධ එනම් සංස්කෘතික ප‍්‍රතිවිරෝධ ආර්ථික ප‍්‍රතිවිරෝධ අභිබවා ඉස්මතු වීමත්, ආණ්ඩුව එම ප‍්‍රතිවිරෝධ තම වාසියට යොදා ගනිමින් වාර්ගික භේද උත්සන්න වන ආකාරයට කටයුතු කිරීමත්, එසේ කළේ ඇයිද යන්නත්, එම අසම්මත කටයුතු සැලසුම් කළේ කෙසේද යන්නත් අධ්‍යයනය කිරීම වත්මන් දේශපාලන අර්බුද මතු වන ආකාරයන් මෙන්ම මතු කරවන ආකාරයන්් වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් වනු නොඅනුමානය.

යටත්විජිත ආණ්ඩුව ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කරමින් ජනතාවගේ පංති වෛරය මොට කිරීමට මෙම වාර්ගික ගැටීම යොදා ගත්තේ එමගින් ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී දේශපාලන න්‍යාය අප රටේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සකසා ගැනීමට මං හෙළිපෙහෙළි කරගනිමිනි.

කෙසේ වෙතත් මෙම අරගලය තුළ අධිරාජ්‍ය විරෝධී ස්වරූපයක් ගැබ්වී තිබුණු මුත් එම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධය ජනතාව තුළට කාන්දු නොවූ අතර, විවෘතව පෙන්නුම් කෙරුනේද නැත.

එසේ වුවත් මෙම ගැටුම අප රටේ නිදහස් සටනේ නව ආරම්භයක් සනිටුහන් කරමින් නව මං විවෘත කළ සන්ධිස්ථානයක් බව බැහැර නොකළ යුතුය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අන් සියලූ අධිරාජ්‍යවාදීන්ට මෙන්ම තම යටත්විජිත පවත්වාගැනීම අසීරු කරුණක් වුණි. එසේ වූයේ තමන් මුහුණ දුන් ආර්ථික අර්බුදත්, යටත්විජිතයන්හි ජනතාවන් ජාතික නිදහස සඳහා සටන්වැදීම මෙන්ම, සෝවියට් සමූහාණ්ඩුව ප‍්‍රමුඛ සමාජවාදී බලවේගයන් ගෙන් එම සටන්කාමීන් ලැබූ දිරිගැන්වීම් හා අධිරාජ්‍ය විරෝධී සහයෝගයත් නිසාවෙනි. එහිදී ඔවුන් ඔවුන්ගේ යටත්විජිත පාලනය කිරීම සඳහා නව ආණ්ඩු ක‍්‍රම මෙන්ම සූරාකෑම සහ ගසාකෑම සඳහා ආර්ථිකයේ නව උපායඋපක‍්‍රමද යොදා ගත්තේ අධිරාජ්‍යවාදයේ නව වර්ධනයන් නිර්මාණය කරමිනි.

එම යථාර්ථයට මුහුණ දීම සඳහා බි‍්‍රතාන්‍යයන් අප රටේ ස්ථාපිත කළ ඩොමීනියන් ආණ්ඩු ක‍්‍රමය පදනම් කරගත් ධනපති පාර්ලිමේන්තු ක‍්‍රමයට හා ධනපති පංතියට එරෙහිව දියත් කළ ප‍්‍රථම මෙන්ම තීරණාත්මක අරගලය ලෙස 1953 අගෝස්තු හර්තාලය ඉතිහාස ගතවී හමාරය.

මෙහිදී පෙර සඳහන් කළ කැරලි ගැසීම් මෙන් නොව මෙරට පීඩිත ජනතාව, නාගරික මෙන්ම ගම්බද පීඩිත ජනතාව පෙරට විත්, මහමඟට පැමිණ තම විරෝධය පල කරමින් ආණ්ඩු විරෝධී ක‍්‍රියාවන්හි නිරතවීමට නොබියව ඉදිරිපත් වුණි. ඔවුහු රාජ්‍ය මර්ධනයට පවා නොබියව මුහුණ දුනි.

පාලන මිලකට සැපයූ හාල් සේරුවක මිල සත 25 සිට තුන් ගුණයකට ආසන්න ප‍්‍රමාණයකින්, එනම් සත 70 දක්වා වැඩි කිරීමත්, සීනි මිල එදා මිල ගණන් අනුව විශාල මිල වැඩිකිරීමක් වූ සත 15 කින් වැඩි කිරීමත්, පාසල් දරුවන්ට ලබාදුන් දිවා ආහාරය කප්පාදු කිරීමත්, කුඩා දරුවන්ට කිරි ලබා දුන් මධ්‍යස්ථාන වසා දැමීමත්, දුම්රිය ගාස්තු හා තැපැල් ගාස්තු වැඩි කිරීමත්, අනාථාධාර කැපීමත් වැනි ජනතා විරෝධී පියවරයන් ගත් ඩඞ්ලි සේනානායකගේ ආණ්ඩුවට එරෙහිව ජනතාව මෙලෙස නැගී සිටියේ එම ආණ්ඩුවට වත්මන් රජයට මෙන්ම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් වන මහා ශක්තියක්, නැතහොත් වැඩි මන්ත‍්‍රී සංඛ්‍යාවක්, බලය කේන්ද්‍රගත වූ පාර්ලිමේන්තුව තුළ පවා තිබියදී බව බැහැර නොකළ යුතු සත්‍යයකි.

එදා කේන්ද්‍රගත වූ බලය සහිත පාර්ලිමේන්තුවේ විශාල ශක්තියක් ඇතිව, එම බලය යොදා, ජනතාවට ඇහුම්කන් නොදී දියත් කළ ජනතා විරෝධී කටයුතු සිදු කළ ආකාරය පිළිබඳව වත්මන් මාක්ස්වාදීන්ගේ අවධානය යොමු විය යුතුය. බලය කේන්ද්‍රගත වූ ජනාධිපති ධූරයේ බලයත්, පාර්ලිමේන්තුව තුළ වත්මන් ආණ්ඩුව සතු මහා ශක්තියත් යොදා ගනිමින් සිදු කෙරෙන ජනතා විරෝධී කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීමක් වන බවත්, හර්තාලයේ ජීවගුණය එයම බවත් මෙහිලා සටහන් කළ යුතුව ඇත.

1953 වන විට මෙරට ජනතාවට වැඩවර්ජන ගැන යම් අත්දැකීමක් ලැබී තිබුණත් හර්තාල් කිරිම ගැන කිසිදු පූර්ව දැනුමක් නොතිබිණි. අද මෙන් ජනමාධ්‍ය දියුණු තත්වයක නොතිබුණ හෙයින් එමගින්ද ඔවුන්ට දැනුවත් වීමේ අවස්ථා නොතිබිණි. එසේ වුවත් ‘පොලීසියට බැටන් පොළු තිබේ නම් අපට පොල් ලෙලි තලන කිතුල් පොලූ තිබේ’ යැයි කාන්තාවන් පිරිසක් පොලිස් නිලධාරීන්ට කීවේ ජන ජීවිතය පදනම් කරගත් ජනතා ශක්තිය අසීමිත බව මොනවට සනාථ කරමිනි.

එදා ප‍්‍රබල කම්කරු මධ්‍යස්ථානයන් වූ වැල්ලවත්ත රෙදි මෝල, වරාය වැනි ස්ථානයන්හි රජයේ ජනතා විරෝධී ක‍්‍රියාපටිපාටියට විරෝධය දැක්වීම සඳහා හර්තාලයට පෙර, එනම් එම වසරේ ජුලි අගභාගයේ පැවැත්වූ වරුවේ සංකේත වැඩවර්ජනය ගැන රජය කිසිදු තැකීමක් නොකළේ රජය බලකාමීත්වයෙන් මත්වී සිටි නිසා යැයි එකල විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයෝ පුනපුනා කී සැටියෙන්ම, වත්මනේදී මෙම රජය ජනතා විරෝධය නොසලකා හරිමින් ගෙන යන පාලනය ෆැසිස්ට්වාදී ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ ව්‍යායාමයක්ද යන්න අධ්‍ය්‍යනය කිරීම හර්තාලය සමරන්නන්ගේ වගකීම විය යුතුය. හර්තාලයේදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ වීරෝධාර ජනතාකාමීන් වෙනුවෙන් කළ හැකි ඉහළම ගෞරවය වන්නේ ඕනෑම රජයක් ගන්නා ජනතා විරෝධී ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව සටන්වැදීම බවද මෙහිලා සටහන් කළ යුතුව ඇත.

එසේ වුවත් හර්තාලයේ අත්දැකීම් තුළින් වටහා ගත යුතු මූලික මෙන්ම ප‍්‍රධාන කරුණ වන්නේ ජනතාව ආණ්ඩු විරෝධීව නැගී සිටියත්, ජනතාවගේ ශක්තිය කොතරම් ප‍්‍රබල වුවත් එවන් බලවේගයක් ජනතා ජයග‍්‍රහන කරා මෙහෙයවීමට අවශ්‍ය දේශපාලන නායකත්වයක් හර්තාලය තුළ නොතිබුණ බවයි. එදා ක‍්‍රියාත්මක වෙමින් තිබූ ලංකා සම සමාජ පක්‍ෂයත්, ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත්, වෙනත් වාමාංශික සංවිධානත් එවන් ජනතා නැගිටීමකට නායකත්වය දීම කෙසේ වෙතත් මුහුණ දීමටවත් සූදානම්ව නොසිටි බව පැහැදිලි ලෙස දැකිය හැකි සත්‍යයකි. ඒ වන විටත් පූර්ණ ධනේශ්වර පාර්ලිමේන්තුවාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයක නිරත වූ මාක්ස්වාදී යැයි කියාගත් එම පක්‍ෂ ජනතාවගේ මෙවන් යෝධ විරෝධතාවයක් මෙහෙයවීම සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන සංවිධාන රටාවක් ගොඩනගා නොතිබුණි.

අරගලයේ පූර්ව සිදුවීම් ඇති වූ අවස්ථාවන්හිදී එක්සත් පෙරමුණක අවශ්‍යතාවය පැහැදිලිව දැකිය හැකි වුවත් ට්‍රොට්ස්කිවාදයේ බොළඳ නිර්මාණයක් වූ ‘ස්ටාලින්වාදී පක්‍ෂ හා ආණ්ඩු’ යන සංකල්පය කරපින්නා ගත් ලංකා සමා සමාජ පක්‍ෂය නිසාවෙන් එම අවශ්‍යතාවය සපුරාලීම කළ නොහැක්කක් බවට පත්වී තිබුණි.

බහුජන ක්‍ෂේත‍්‍රයේ සංවිධාන කටයුතුද මීට නොදෙවෙනි දුර්වලතාවයක් පෙන්නුම් කළත්, ජනතාව සියලූ පක්‍ෂ භේද නොතකා තමන්ගේම වූ ‘ගොනුවීම්’ හා සංවිධාන වීම් ලෙස සටන් කොමිටි නිර්මානය කර ඇත්තේ වත්මන් මාක්ස්වාදීන්ට එක්සත් පෙරමුණක අවශ්‍යතාවයත් බහුජන ක්‍ෂේත‍්‍රයේ කටයුතු කළ යුතු ආකාරයත් ගැන පූර්ව ආදර්ශයක් සපයමිනි.

පාර්ලිමේන්තුවාදී නොවන එක්සත් පෙරමුණක් පිළිබඳවත් එමගින් වෘත්තීය හා දේශපාලන සටන්වලදී අවශ්‍ය ‘සටන් කොමිටි’ ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය ගැනත්, හැකියාව හා පදනම් ගැනත් වත්මන් මාක්ස්වාදීන් අවධානය යොමු කළ යුතු බව හර්තාලය දෙස ආපසු හැරී බලන්නෝ වටහා ගත යුතුය.

ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් එම දැනුම, එම පාඩම, වත්මන් මාක්ස් -ලෙනින්වාදීන් ග‍්‍රහනය කරගත යුතුය. එතෙකින් නොනැවතී එම අඩුපාඩු නිවැරදි කරගැනීමට වසරක් පාසා පැරිස් කොමියුනයේ පාඩම් ගැන කථා කරන්නා ක් මෙන් මෙම ශ්‍රේෂ්ඨ නැගිටීම නැවතනැවතත් සිහිපත් කරමින් මෙරට මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරයේ මෙතෙක් වූ අඩුපාඩු සපුරා ගැනීමට අවශ්‍ය පියවර නිර්මාණය කරගැනීමට යොදා ගත හැකිය. අවදියේ ඓතිහාසික මෙහෙවර එයම බව වටහා ගනිමින් තමන් මෙතෙක් ලැබූ අත්දැකීම් හා ගොනු කරගත් දැනුම නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනැගීමට යොදා ගත යුතුය.

හර්තාලය තුළින් අධිරාජ්‍යගැති එක්සත් ජාතික පක්‍ෂයේ සැබෑ ස්වරූපය ජනතාව වටහා ගත් මුත්, එහි ඵලය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එදා දේශීය ධනේශ්වර බලවේග නියෝජනය කළ කඳවුර දිනාගැනීමත්, එමගින් ජනතාව තවදුරටත් ධනේශ්වර දේශපාලනය තුළ රඳවාගැනීමට ධනේශ්වරයට හැකි වීමත් ගැන විචාරාත්මකව විශ්ලේශනය කරගත යුතුය.

එමෙන්ම පැරණි මාක්ස්වාදී දේශපාලන පක්‍ෂ හා සංවිධාන පූර්ණ පාර්ලිමේන්තුවාදී වී කෙමෙන් දියවීමත්, කම්කරු පංති ව්‍යාපාරය පූර්ණ වෘත්තීය සමිතිවාදී වීම හා සුභසාධන සංවිධානයන්ගේ තත්වයට පත්වීමත්, නීති උපදේශක ආයතන බවට පත්වීමත් පිළිබඳව ද වත්මන් මාක්ස්වාදීන්ගේ අවධානය යොමු විය යුතුය. මෙම වෙනස සිදු වූයේ කෙසේද යන කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමද ඉතා වැදගත් වනු නොඅනුමානය.

ජනතාව හර්තාල් ක‍්‍රියාවලියේදී ප‍්‍රබල ලෙස ආණ්ඩු විරෝධීව නැගීසිටියත් පැරණි වාමාංශික පක්‍ෂ සහ සංවිධාන (ඔවුන් මාක්ස්වාදීන් ලෙස පෙනී සිටිමින්) ජනතාවට නායකත්වය දීමටවත්, මෙම ජනතා නැගිටීම රාජ්‍ය විරෝධී විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක ආරම්භය බවට පත්කිරීමටවත් අපොහොසත් වූයේ එම සංවිධාන විප්ලවවාදී දේශපාලන ක‍්‍රියාමාර්ගයක නිරතවීමට අවශ්‍ය පදනමකින් ගොඩනගා නොතිබුනු නිසාවෙන් යැයි කීම නිවැරදිය.

එදා පැවැති රජය ස්ටාලින්වාදී යයි කීමට තරම් බොළඳ පදනමක හර්තාලයේ නියමු කාර්යභාරයක් ඉටු කළා යැයි කියන ලංකා සම සමාජ පක්‍ෂයත්, එහි ආචාර්යවරුන්ගෙන් සමන්විත වූ නායකත්වයත් සිටි බැවින් එක්දින විරෝධතාවයක් වශයෙන් ඇරඹුනු හර්තාලය පෙරට ගෙන යෑමට ඔවුන් ඉදිරිපත් නොවූ බව අකමැත්තෙන් වුව පිළිගත යුතුය. එහි ඵලය වූයේ රාජ්‍ය මර්දනයට ජනතාව බිළි දීම නොවේද?

ඔවුන් ධනේශ්වර පාර්ලිමේන්තු දේශපාලනය කෙරෙහි කොතෙක් දුරට යොමු වී සිටියේද යන්න වටහා ගැනීමට කදිම නිදසුනක් වනුයේ ලංකා සම සමාජ පක්‍ෂයත්, කොමියුනිස්ට් පක්‍ෂයත් එක්ව ගත් නිගමනයන්ය. කම්කරු පංතියේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් නිගමනය කර ඇත්තේ ධනේශ්වර, විශේෂයෙන් අධිරාජ්‍යවාදී අවශ්‍යතාවයන් සපුරාලීමට ධනේශ්වර දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජමය බලවේග පදනම් කරගත් ධනේශ්වර පාර්ලිමේන්තුව තුළ වීම ඔවුන්ගේ ජනතාවාදී නොවන, විප්ලවාවදී නොවන අවස්ථාවාදී සුළු ධනේශ්වර දේශපාලනයේ යථාර්ථය හෙළි කරන කැඩපතක් බඳුය. මෙය මාක්ස් ලෙනින්වාදීන්ගේ නිගමනයක් නොවන බව නම් සහතිකය. බි‍්‍රතාන්‍යයේ කම්කරු පක්‍ෂය වැනි දේශපාලන සංවිධානයන්ට මෙවන් නිගමන සුදුසු වුවත් නිර්ධන පංතියේ දේශපාලනය වන මාක්ස් ලෙනින්වාදී දේශපාලනයට මෙවන් නිගමන නොපෑහෙන බව හර්තාලයේ ඉතිහාසය විග‍්‍රහ කිරීමේදී තේරුම් ගත යුතුව ඇත. අවම වශයෙන් මෙම නිගමනයෙන් පසුව හෝ ඔවුන්ගේ පක්‍ෂ හර්තාලයේ අත්දැකීම් ග‍්‍රහනය කරගනිමින් පාර්ලිමේන්තුවාදී නොවන නිවැරදි මාක්ස් ලෙනින්වාදී දේශපාලනයක නිරතවීමට යොමු වූයේ නම් හර්තාලයේ ජීවය උකහා ගත්තා යැයි කිව හැක. එහෙත් සිදුවී ඇත්තේ අනෙකකි. ඔවුන් තවතවන් පාර්ලිමේන්තුවාදී වී දිය වී යෑම පමණි. තමන් මාක්ස්වාදී හෝ මාක්ස් ලෙනින්වාදී යැයි කියාගත් පැරණි වාමාංශික දේශපාලන පක්‍ෂ ගනු ලැබූ මෙවන් දේශපාලන නිගමන හා ක‍්‍රියාමාර්ග ගැන විචාරාත්මකව විශ්ලේෂණය කිරීම ඉතිහාසය දෙස මාක්ස්වාදී දෘෂ්ඨියකින් බැලිය හැකි බුද්ධිමතුන්ට භාර කරමු.

එදා වාමාංශික ව්‍යාපාරය තුළ ක‍්‍රියාත්මක වූ විවිධ මාක්ස්වාදී පක්‍ෂ සහ සංවිධාන එක් සංවිධානයක් බවට ගොනු වීම කෙසේ වෙතත්, අවම වශයෙන් එක්සත් පෙරමුණක් වශයෙන් අවම එකඟතාවයකට පැමිණ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පොදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට හෝ ඒකරාශී නොවූයේ ඔවුන්ගේ දේශපාලන දෘෂ්ඨිය නිර්ධන පංතියේ දෘෂ්ඨියට වඩා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුවාදී දේශපාලන දෂ්ඨියෙන් සන්නද්ධ වී තිබුණු හෙයිනි.

හර්තාලයේදී ප‍්‍රදර්ශනය වූ තවත් වැදගත් කරුණක් වූයේ එදා පැවැති මධ්‍යම පංතික වෘත්තීය සමිති ආණ්ඩු විරෝධී සටන්කාමී ක‍්‍රියාමාර්ගයන්හිදී හෝ වෘත්තීය සමිති විරෝධතාවයන්හිදී ඇල්මැරුනු ස්වරූපයකින් කටයුතු කළ ආකාරයයි. මෙම තත්වය 1947 වැඩවර්ජනයේදී පිළිබිඹු වූ දැඩි සටන්කාමී ස්වරූපයට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ වූවකි. ආණ්ඩුවේ ලිපිකරු සේවා සංගමය, ලංකා වෙළෙඳ සේවක සමිතිය වැනි මධ්‍යම පංතික වෘත්තීය සමිති මෙසේ කටයුතු කළත් එම සංවිධාන තුළම එම ක‍්‍රියාමාර්ගයන්ට විරුද්ධ බලවේග මතුවූයේ ආණ්ඩුවේ අත්තනෝමතික මෙන්ම මර්දනකාරී ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් පමණක් නොව ජනතාවගේ සටන්කාමීත්වයේ ඵලයක් ලෙසිනි.

මධ්‍යම පංතික වෘත්තීය සමිති මෙලෙස කටයුතු කළත්, රජයේ මෙන්ම පුද්ගලික අංශයේ කම්කරු සංවිධාන එතෙක් කිසිදු අවස්ථාවක සිදු නොකළ ආකාරයට වැඩවර්ජනයට සහභාගී වෙමින් ආණ්ඩු විරෝධී සටනේ පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේ පංති අරගලයේ හා නිර්ධන පංති දේශපාලනයේ අනාගත කාර්යභාරය පිළිබඳ පූර්ව ආදර්ශ සපයමිනි. මෙහි ජීවය කොතරම් ප‍්‍රබල වූයේද යත්, දැඩි සංවිධානාත්මක පදනම්වල නොසිටි විසිරී සිටි කඩ සාප්පු සේවකයන්, කුඩා පරිමාණයේ කර්මාන්ත ශාලා සහ වැඩපලවල්වල සේවකයින් පවා සංවිධානාත්මක නොවූවත් තම පංති යුතුකම ඉටු කරමින් වැඩවර්ජනයේ කොටස්කරුවන් වී සිටි බව හර්තාලයේ ඉතිහාසය සනාථ කරනුයේ වත්මන් කම්කරු පංතියට පැහැදිලි පණිවුඩයක් ලබාදෙමිනි. එදා නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි කම්කරුපංතිය ප‍්‍රමුඛ අන් පීඩිත ජනතාවන් ආණ්ඩු විරෝධී ක‍්‍රියාකාරකම්වල නිරත වෙමින් හර්තාලය සාර්ථක කරගැනීමට දුන් දායකත්වය ලංකා සම සමාජ පක්‍ෂය මෙන්ම කොමියුනිස්ට් පක්‍ෂය අපේක්‍ෂා නොකළ තරම් ප‍්‍රබල මෙන්ම දැඩි වූ බව එම පක්‍ෂවල නායකත්වයන් එදා ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කර ඇත. එසේ ප‍්‍රකාශ කර ඇත්තේ හර්තාලයට දේශපාලන නායකත්වයක් ලබාදීමට තරම් වන විප්ලවවාදී දෘෂ්ඨිමය පදනමක මෙන්ම සංවිධානාත්මක පදනමක එම පක්‍ෂ නොතිබුණු බැවිනි. මාක්ස්වාදී විප්ලවවාදී පක්‍ෂ ගැන පුරසාරම් දොඩවන්නෝ මෙම අත්දැකීම් මගින් ලබාදී ඇති ‘‘දැනුම’’ දැඩිව ග‍්‍රහනය කරගත යුතුය. කම්කරු පංතිය පංතියක් වශයෙන් තම දේශපාලනය දෙස බැලිය යුතුය යන සත්‍යය සනාථ කෙරෙන ආදර්ශ සැපයීම ද හර්තාලයෙන් සිදු වූ තවත් වැදගත් මෙහෙවරකි. ජාතිවාදීව වහල් කඳවුරක් බවට පත්කර ගනු ලැබූ වතු කම්කරුවන් හර්තාල් ක‍්‍රියාමාර්ගයෙන්, අවම වශයෙන් වැඩවර්ජන කිරීමෙන් හෝ සහභාගී නොවී දවසේ වැඩ නිමා කිරීමෙන් පසු විරෝධය පල කිරීමේ රැස්වීම් පැවැත්වීමට පමණක් යොමු වූයේ එදා තොණ්ඩමන්ලාගේ ජාතිවාදී උපක‍්‍රමය තුළින් කම්කරු පංතිය බෙදා වෙන්කර තිබූ නිසාවෙනි. එසේ වුවත් ප‍්‍රතිවිරුද්ධ පංතියේ, ධනේශ්වර පංතියේ පංති හැඟීම් මොනවට ප‍්‍රදර්ශනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හර්තාලයට සහභාගී නොවීම කම්කරු පංතියටද පංති හැඟීමෙන් දේශපාලන හා වෘත්තීය සටන් දෙස බැලීමට මග පෙන්වන කදිම අදර්ශයක් ලෙස දැකිය යුතුය.

හර්තාලයේ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන තවත් කරුණක් වනුයේ ලංකා සම සමාජ පක්‍ෂයට ශක්තියක් තිබූ ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි දිළිඳු ගොවි ජනතාවන් හර්තාල් ක‍්‍රියාදාමයේ ප‍්‍රබල බලවේගයක් වෙමින් ඉටු කළ මෙහෙවරයි. එමගින් සිදුවූවේ ගොවි ජනතාව ප‍්‍රතිවිප්ලවීය බලවේගයක් වශයෙන් හඳුන්වන ට්‍රොට්ස්කිවාදී න්‍යායන් භාවිතාවෙන් ම ප‍්‍රතික්‍ෂේප වීමයි. මහමඟ ආප්ප පුච්චමින් මාර්ග අවහිර කිරීමට තරම් එඩිතර වූ ග‍්‍රාමීය ගොවි ජනතාව මාක්ස්වාදය හා මාක්ස් ලෙනින්වාදය යැයි කියමින් ට්‍රොට්ස්කිවාදයත්, සංශෝධනවාදයත්, ධනවාදයත් අනුව කටයුතු කළ එදා වාමාංශික බලවේගයට නව මං හෙළි කළ මුත්, එමගින් ඵලප‍්‍රයෝජන ලැබූයේ දේශීය ධනේශ්වර පංතියේ දේශපාලන සංවිධානය වූ (එදා) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. මේ අතර මාක්ස්වාදී පක්‍ෂ වශයෙන් සමාජ ගත වී සිටි ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය හා විප්ලවකාරී ලංකා සම සමාජ පක්‍ෂය වැනි දේශපාලන සංවිධාන ධනේශ්වර පාර්ලිමේන්තුවාදය වෙත නැඹුරු වීම තවදුරටත් වර්ධනය කරගනිමින් ඔවුන්ගේ වෘත්තීය සමිති වෘත්තීය සමිතිවාදය නමැති මඩගොහොරුවේ ගිල්වමින් තමන්ගේ දේශපාලන මිනීවලවල් කපාගැනීම සිදු කරගති.

මෙවැනි දුර්වලතාවයන් හා පසුබෑම් සිදුවී තිබුණ මුත්, අගෝස්තු හර්තාලය වත්මන් මාක්ස් ලෙනින්වාදීන්ට ඓතිහාසික අත්දැකීමක් පමණක් නොව, මෙරට මාක්ස් වාදීන් ගත යුතු ක‍්‍රියාමර්ගයන් පිළිබඳ එහි නිවැරදි මෙන්ම වැරදි ක‍්‍රියාකාරකම් හා ජයග‍්‍රාහී මෙන්ම පරාජිත ප‍්‍රතිඵල තුළින් සපයන දැනුම් සම්භාරය අසීමිතය. එසේම මෙම අරගලයේදී කම්කරු පංතියෙන් හා ගොවි ජනතාවගෙන් මතු වූ නායකයින් එම පක්‍ෂ තුළින් ඉවත් කෙරුණේ කෙසේද යන්න විමසා බැලීමද, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමද මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධ නිවැරදිව විශ්ලේෂණය කරගැනීමට හා සාර්ථකව විසඳා ගැනීමට උපකාරී වන පූර්වාදර්ශ සපයනවා නොඅනුමානය.

ලක් ඉතිහාසයේ ප‍්‍රථම වරට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සහභාගීත්වයෙන්, පැහැදිලි නායකත්වයකින් තොරව (ප‍්‍රාදේශීය නායකත්වයන් මතුවූ බව සත්‍යයකි.) කෙරුණු ‘හර්තාලය’ එතෙක් අප රටේ සිදු කළ වැඩවර්ජන, මැතිවරණ ව්‍යාපාර වැනි ක‍්‍රියාමාර්ගයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. මෙය අප රටේ ධනපති පාලනයට එරෙහිව ජනතාව නැගීසිටි ප‍්‍රථම අවස්ථාව වූ හෙයින් සුවිශේෂ වැදගත්කමක් පෙන්නුම් කරන අතර, එමගින් ලැබූ අත්දැකීම් හා දැනුම් සම්භාරය තීරණාත්මක බවද බැහැර නොකළ යුතුය. විශේෂයෙන් ජාතික නිදහස දිනාගැනීම මෙන්ම ජනතාවාදී හා ජනහිතකාමී බව ගැන පුරසාරම් දොඩවන්නෝ එදා මෙන්ම අදත් නොඅඩුව සිටින හෙයින් මේ හැම අතුරින් ජනතාවගේ මිතුරන් හා සතුරන් කවුදැයි පැහැදිලිව හෙළිදරව් කරගැනීමට අවශ්‍ය ආදර්ශ ලබාගත හැකි ප‍්‍රබලතම සංසිද්ධියක් ලෙස 1953 අගෝස්තු හර්තාලය උපයෝගී කරගැනීම වැදගත් වනු ඇත.

ලාංකික පීඩිත ජනතාවන්ගේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස පමණක් නොව මුලූ ජීවිතයම පරිත්‍යාග කළ 1953 හර්තාලයේ වීරෝධාර සොහොයුරන්ගේ නම් සහ ඔවුන් තම දායකත්වය ලබාදුන් ප‍්‍රදේශයන් මෙහිලා සඳහන් කිරීම අපගේ වගකීමක් ලෙස සලකන්නෙමු. එකල ටයිම්ස් පුවත්පතේ 21 දෙනෙක් මිය ගිය බව සඳහන් කර තිබුණු මුත්, දැනට අප ගොනු කරගත් කරුණු මත පිහිටා මෙහිලා සටහන් කරනු ලබන නාමයන් මෙසේය.

කේ. එඞ්වින් පිටකොටුව

අලූමදුරගේ අල්විස් රජ්ගම

එස්.එච්. රූබල් ඌරගහ

ටී.ඇම් පනාගොඩ දොඩන්දූව

එච්.කේ.ඒ. පියසේන දොම්පේ

කේ.ඒ. සාදිරිස් දොම්පෙ

එස්.කේ.ඒ. වික‍්‍රමසිංහ දොම්පෙ

ටී. සිරිසේන කිරුළපන

ඩග්ලස් නිකලස් මෝදර

සමාජවාදය හරහා කොමියුනිස්ට්වාදය ගොඩනැගීම සඳහා වන මාක්ස් ලෙනින්වාදීන්ගේ දේශපාලන අරගලය නැතහොත් නිර්ධන පංතියේ විප්ලවීය දේශපාලන ක‍්‍රියාදාමය, ධනේශ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනයෙන් බැහැර වී වෘත්තීය සමිතිවාදී නොවී, කම්කරු පංතියේ නායකත්වයෙන් ගොවි ජනතාවගේ ශක්තිය මත පිහිටා දියත් කළ යුතු විප්ලවීය අරගලයක් බව හර්තාලයට හැට (60) වසරක් සපිරෙන අද වැනි දිනෙක හෝ පිළිගැනීමට මෙරට මාක්ස් වාදීන් සූදානම් වේ නම් නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනැගීමේ ආරම්භක පියවර එම නිගමනයම බව මෙහිලා සඳහන් කළ යුතුය. හර්තාලය ගැන අධ්‍යයනය කිරීම අතීතයේ මුල් හෑරීමක් පමණක් නොව අනාගතය දැකීමට අවශ්‍ය ආලෝකය සපයන අනාගතය පිළිබිඹු කරන කැඩපතකි.

* විසි එක් වන සියවස වන විට මාක්ස්වාදය මාක්ස් ලෙනින්වාදය බවටත්, මාක්ස් ලෙනින්වාදී මාඕවාදය බවටත් පත් කළ මාක්ස්වාදයේ සංවර්ධනය මත පිහිටමු !

* ශ්‍රේෂ්ඨ මහජන යුද්ධයේ න්‍යාය ක‍්‍රියාත්මක කරමු !

* කම්කරු ගොවි සමගියේ ශක්තිය විදහා දැක් වූ 1953 හර්තාලයෙන් පාඩම් උගෙනිමු !

2013 අගොස්තු 12

[අරුණළු යනු ශ්‍රී ලංකාව තුළ වූ තවත් මාඕවාදී කණ්ඩායමකි. මේ ලිපිය අරුණළු මගින් පළ කරනු ලැබූවකි.]