Monthly Archives: July 2016

අධ්‍යනය කිරීම

අධ්‍යනය කිරීම

Mao-Zedong-on-table

නොදියුණු කෘෂිකාර්මික චීනය, දියුණු කාර්මික රටක් බවට පරිවර්තනය කිරීමේදී අපට දුෂ්කර කාර්ය වලට මුහුණ දීමට සිදුවී ඇති අතර අපගේ අත්දැකීම් ප‍්‍රමාණවත් නොවේ. එහෙයින් අප ඉගෙනීමේ දක්‍ෂ විය යුතු ය.

‘‘චීන කොමියුනිස්ට් පක්‍ෂයේ අටවැනි ජාතික සම්මේලනයේදී කළ විවෘත කිරීමේ කතාව’’ (1956 සැප්තැම්බ්ර් 15)

සෑම විටකම තත්ත්වයන් වෙනස් වෙයි. යමෙකුගේ චින්තනය නව තත්ත්වයන්ට ගැලපීම සඳහා ඔහු අධ්‍යයනය කළ යුතු ය. මනා මාක්ස්වාදී වැටහීමක් ඇති අන්‍යයන් සමග සම කිරීමේ දී දැඩි නිර්ධන පංතික ආකල්පයක් දක්වන්නවුන් ද ඉගෙනීමෙහි යෙදෙමින් නව දෑ උකහා ගනිමින් නව ගැටළු හැදෑරිය යුතුය.

‘‘චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රචාරක කටයුතු පිළිබඳ ජාතික සම්මේලනයේ දී කළ දේශනය’’ (1957 මාර්තු 12) පළමු සාක්කු මුද්‍රණය 8 පිටුව.

අප නොදන්නා දේ අට උගත හැකිය. අප දක්‍ෂ වනුයේ පැරණි ලෝකය විනාශ කිරීමේ දී පමණක් ම නොවේ. නව ලෝකය ගොඩ නැගීමේ දී අපි දක්‍ෂ වෙමු.

‘‘චීන කොමියුනිස්ට් පක්‍ෂයේ හත්වැනි මධ්‍යම කාරක සභාවේ දෙවැනි පූර්ණ සැසි වාරයට ඉදිරිපත් කළ වාර්තාව’’ (1949 මාර්තු 5) ‘‘තෝරා ගත් කෘතීන්’’ 4 වෙනි වෙළුම, 374 පිටුව.

අන්‍යයන්ගෙන් ඉගෙන ගැනීම කෙරෙහි දැන් වෙනස් ආකල්ප දෙකක් ඇත්තේ ය. එකක් නම්, අපේ තත්ත්වයන්ට ගැලපුනත් නැතත් යමක් එහෙමම ගෙනත් දමා ගැනීමේ පොතේ ගුරුවාදී ආකල්පයය. මෙය හොඳ නැත. අනෙක නම් අපගේ ඔළු පාවිච්චි කර අපගේ තත්ත්වයන්ට ගැලපෙන දේ ඉගෙන ගැනීමය. එනම්; අපට වැඩදායී අත්දැකීම් කුමක් වුවත් උකහා ගැනීමය. අප යොදා ගතයුතු ආකල්පය මෙයයි.

‘‘ජනතාව අතර ප‍්‍රතිවිරුද්ධතාවයන් නිවැරදිව විසඳීම ගැන’’ (1957 පෙබරවාරි 27) පළමු සාක්කු මුද්‍රණය 75 පිටුව.

මාක්ස්ගේ, එංගල්ස්ගේ, ලෙනින්ගේ සහ ස්ටාලින්ගේ න්‍යාය සෑම තැනකම භාවිතයේ යෙදිය හැකිය. අප එය සැලකිය යුත්තේ ඍෂි භාෂිතයක් හැටියට නොව, ක‍්‍රියාවට මග පෙන්වන්නක් හැටියටය. එය හැදෑරීම යනු, හුදු, පිළිවෙත් හා වාක්‍ය ඛණ්ඩ ඉගෙනීම නොව, විප්ලවයේ විද්‍යාව ලෙස මාක්ස්-ලෙනින්වාදය හැදෑරීමය. එය, මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ස්ටාලින් විසින් සැබෑ ජීවිතය හා විප්ලවවාදී අත්දැකීම් විස්තර ලෙස හදාරා උකහාගෙන ඇති පොදු නීති තේරුම් ගැනීම පමණක් නොව, ගැටළු පරීක්‍ෂා කිරීමේ දී හා විසඳීමේදී ඔවුන් බැලූ ආකාරය හා යොදාගත් ක‍්‍රමයන් උගැනීමය.

‘‘ජාතික යුද්ධයේදී චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මෙහෙවර’’ (1938 ඔක්තෝබර්) ‘‘තෝරා ගත් කෘතීන්’’ 2 වෙනි කාණ්ඩය, 208-09 පිටු.

අපට නිවැරදි න්‍යායක් ඇති නමුත් එය ගැන නිකම් දොඩවමින් පැත්තකට දමා තබනු මිස එය භාවිතයේ යොදන්නේ නැත්නම් එම න්‍යාය කොතරම් හොඳවුවත් එහි වැදගත්කමක් නැත්තේවෙයි.

‘‘භාවිතය ගැන’’ (1937 ජුලි) ‘‘තෝරා ගත් කෘතීන්’’ පළවෙනි කාණ්ඩය, 304 පිටුව.

මාක්ස්වාදී න්‍යාය ප‍්‍රගුණ කිරීම හා ව්‍යවහාරයේ යෙදීම අවශ්‍ය වේ. ප‍්‍රගුණ කිරීමේ ඒකායන පරමාර්ථය එය ව්‍යවහාරයට යෙදවීමය. මාක්ස්-ලෙනින්වාදී දෘෂ්ඨිය යොදමින් ඔබට ප‍්‍රායෝගික ගැටළු එකක් හෝ දෙකක් පැහැදිලි කරගත හැකිනම්, ඔබට ප‍්‍රශංසාව හා ගෞරවය ලබා දෙන යම් ජයග‍්‍රහණයක් ලැබිය යුතු ය. ඔබ වැඩි සංඛ්‍යාවක් ගැටලූ තේරුම් ගත්තේ නම් හා වඩා හොඳින් හා වඩා ගැඹුරු ලෙස එසේ කරන්නේ නම්, ඔබගේ ජයග‍්‍රහණයන් වඩාත්ම ශ්‍රේෂ්ඨ වනු ඇත.

‘‘පක්‍ෂයේ වැඩ ශෛලිය නිවැරදි කරනු’’ (1942 පෙබරවාරි 1) ‘‘තෝරා ගත් කෘතීන්’’ තුන්වන කාණ්ඩය, 38 පිටුව.

මාක්ස්-ලෙනින්වාදී න්‍යාය චීන විප්ලවයේ භාවිතය සමග සම්බන්ධ කරන්නේ කෙසේද? සාමාන්‍ය කීමක් ප‍්‍රයෝජනයට ගෙන කිවොත් එය කරනුයේ ‘ඊතලය ඉලක්කයට විදීමෙනි’, ඊතලය ඉලක්කයට යම්සේද මාක්ස්-ලෙනින්වාදයද චීන විප්ලවයට එසේය. එසේ වුවද සමහර සහෝදරවරු ‘‘ඉලක්කයක් නොමැතිව’’ විදිති. එවැනි අය මෙසේ ආවාට ගියාට විදීමෙන් විප්ලවයට හානි සිදුවිය හැකිය.

එයින්ම 42 පිටුව.

වැඩ කිරීමේ අත්දැකීම් ලත් අප න්‍යාය හැදෑරිය යුතුය. බරපතල ලෙස කියවිය යුතු ය. ඔවුනට තම අත්දැකීම් ක‍්‍රමානුකූල කරගත හැක්කේත් සකස්කර ගත හැක්කේත් එය න්‍යායික මට්ටමකට උසස් කරගත හැක්කේත් ඉන් පසුව පමණි. තමන්ගේ අර්ධවූ අත්දැකීම් විශ්ව සත්‍යය ලෙස වැරදිව වටහා ගැනීම නොකරන්නේත් ප‍්‍රත්‍යක්‍ෂමූල වැරදි නොකරනුයේ ත් එවිට පමණකි.

එයින්ම.

කියවීම ඉගෙන ගැනීමය; එහෙත් භාවිතයේ යෙදීමත් ඉගෙන ගැනීමක් මෙන් ම, එය වඩාත් වැදගත් ඉගෙන ගන්නා ක‍්‍රමයයි. යුද්ධ කටයුතු තුළින් ම යුධ කටයුතු ඉගෙන ගැනීම අපේ ප‍්‍රධාන ක‍්‍රමයයි. පාසැලකට යාමට අවස්ථාවක් නොමැති වූ අයකුටත් යුද්ධ කටයුතු උගත හැකි ය. ඔහුට යුද්ධයේදී සටන් කිරීම තුළින් එය උගත හැකි ය. විප්ලවවාදී යුද්ධයක් බහු ජනතාවගේ කටයුත්තකි. නිතරම එය පළමු ඉගෙන ගෙන ඉන් පසුව කිරීම නොව, කිරීම හා ඊට පසු ඉගෙන ගැනීමය. මන්දයත්, කිරීම ම ඉගෙන ගැනිම වන බැවිනි.

‘‘චීනයේ විප්ලවකාරී යුද්ධයේ ක‍්‍රියා මාර්ගය පිළිබඳ ගැටළු’’ (1939 දෙසැම්බර්) ‘‘තෝරා ගත් කෘතීන්’’ පළවෙනි කාණ්ඩය, 189-190 පිටු.

සාමාන්‍ය වැසියකු හා සොල්දාදුවකු අතර පරතරයක් ඇත්තේය. එහෙත් ඔවුන් අතර මහා ප‍්‍රාකාරයක් නොමැත. එය ඉක්මනින් වසා දැමිය හැකි ය. එය වසා දැමීමට ඇති මාර්ගය විප්ලවයට, යුද්ධයට සහභාගිවීමය. ඉගෙනගැනීම හා එය ව්‍යවහාරයට යෙදීම පහසු නැත කියා කිමෙන් අප අදහස් කරන්නේ සම්පූර්ණ ලෙස ඉගෙනීම හා දක්‍ෂ ලෙස ක‍්‍රියාවට නැගීම අපහසු දෙයක් බවය. සාමාන්‍ය අයට ඉක්මනින් සොල්දාදුවන් විය හැකිය, යන කියමනෙන් අපි අදහස් කරන්නේ එළිපත්ත පැන්නීම අපහසු නොවන බ වයි. මෙම ප‍්‍රකාශ දෙක එක් කිරීම සඳහා අපි මේ චීන ප‍්‍රස්ථා පිරුළ උපුටා දක්වමු. ‘‘තමන්ගේ මනස ඒ දෙය කෙරෙහි යොදවන්නෙකුට ලෝකයේ අපහසු යැයි දෙයක් නැත.’’ එලිපත්ත පැනීම අපහසු නොවේ. නිරවශේෂ වශයෙන් අවබෝධ කර ගැනීමද යමෙකු එම කාර්යයට තම මනස යොදවන්නේ නම් සහ ඉගෙන ගැනීමට හොඳ නම් එයද කළ හැකිය.

එයින්ම 190 පිටුව.

අප ආර්ථික වැඩ කිරීමට දන්නා සියල්ලන්ගෙන් ඒවා උගත යුතුය. ඔවුන් කවුරුන් වුව ද කම් නැත. අප ඔවුන්ට ගුරුවරුන්ට ලෙස ගරු කරමින් ඔවුන්ගෙන් ගරු කටයුතු ලෙස හා උද්යෝගයෙන් යුතුව උගත යුතු ය. අප නොදන්නා විට දන්නා බව නො පෙන්විය යුතු ය.

‘‘මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය ගැන’’ (1949 ජුනි 30) ‘‘තෝරා ගත් කෘතීන්’’ 4 වෙනි කාණ්ඩය, 423 පිටුව.

දැනීම, විද්‍යාව පිළිබඳ කරුණකි: කිසිම වංක බවකට හෝ කුමන හෝ උඩඟු බවකට අවසර නැත. අවශ්‍ය වනුයේ විශේෂිතවම එහි අනෙක් පැත්තය – අවංක බව හා නිහතමානී බවය.

‘‘භාවිතය ගැන’’ (1937 ජුලි) ‘‘තෝරා ගත් කෘතීන්’’ පළවෙනි කාණ්ඩය, 300 පිටුව.

තම දැනුම ගැන සතුටුවෙමින් පසුවීම, ඉගෙනීමේ සතුරා වෙයි. මෙයින් තොරවන තෙක් ඇත්තෙන් ම අපට කිසිදෙයක් උගත නොහැක. අප කෙරෙහි ම අපේ ආකල්පය විය යුත්තේ ‘‘ඉගෙනීමෙහි තෘප්තිමත් නොවීම’’ සහ ඒ පිළිබඳ අන්‍යයන් කෙරෙහි දැක්වියයුතු ආකල්පය විය යුත්තේ ‘‘මහන්සි නොතකා ඉගැන්වීම’’ ය.

‘‘ජාතික යුද්ධයේදී චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මෙහෙවර (1939 ඔක්තෝබර්)  ‘‘තෝරා ගත් කෘතීන්’’ දෙවෙනි කාණ්ඩය, 210 පිටුව.

මාක්ස්වාදී පොත් කියවා ඇති සමහර දෙනා තමන් බෙහෙවින් උගත් යැයි සිතති. එහෙත් ඔවුන් කියවා ඇති දේ ඔවුන්ගේ මනස් තුළට කා වැදී, මුල් ඇද ගෙන නොමැති නිසා, එය ක‍්‍රියාවට නගන්නේ කෙසේදැයි ඔවුන් නොදන්නා අතර, ඔවුන්ගේ පංති හැඟීම් පැරණි ලෙස ම පවතී. අධිමානයෙන් යුත්, පොතේ වාක්‍ය ඛණ්ඩ කීපයක් ඉගෙන ඇති අය තමන් බලගතු අය යැයි සිතන අතර ඔවුන් පුරසාරම් කාරයෝද වෙති. එහෙත් කොයියම් මොහොතක කුණාටුවක් හමත් ද එවිට ඔවුහු කම්කරුවන්ටත් ගොවීන්ගෙන් වැඩි පිරිසටත් බොහෝ දුරට වෙනස් ආකල්පයක් දක්වති. දෙවැනිව කියවුන අය ඍජුව සිටින විට ඔවුහු වැනෙති. තෙවනුව කියවුන අය කෙලින් ම තම අදහස් ප‍්‍රකාශ කරන විට ඔවුහු දිව දෙකින් කතා කරති.

‘‘චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රචාරක වැඩ කටයුතු ගැන ජාතික සම්මේලනයේදී කළ කථාව.’’ (1957 මාර්තු 12) කුඩා පොත, 78 පිටුව.

මාක්ස්වාදය පිළිබඳ නියම වැටහීමක් ඇතිකර ගැනීම සඳහා කෙනෙකු පොත්වලින් පමණක් නොව ප‍්‍රධාන වශයෙන් පංති අරගලය තුළින් ද, ප‍්‍රායෝගික වැඩවලින් හා කම්කරු ගොවි බහු ජනතාව සමග ඇති කර ගන්නා වූ කිට්ටු සම්බන්ධතාවයන්ගෙන් ද උගත යුතු ය. මාක්ස්වාදී පොත් හැදැරීමට අමතරව, අපේ බුද්ධිමතුන් කම්කරු ගොවි බහුජනතාව සමග කිට්ටු සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ නම්, ඔවුන්ගේම ප‍්‍රායෝගික වැඩ තුළින් ද සෑහෙන වැටහීමක් ඇති කරගෙන ඇත්නම්. අපට පොදු භාෂාවකින් කතා කළ හැකි ය; දේශමාමාක පොදු භාෂාවෙන් හා සමාජවාදී පොදු භාෂාවෙන් පමණක් නොව නියත වශයෙන්ම කොමියුනිස්ට් ලෝකාවේක්‍ෂයේ පොදු භාෂාවෙන්ද අපට කතා කළ හැකිවනු ඇත. එය එසේ සිදු වන්නේ නම්, ස්ථිරවම අප සියලූ දෙනා ම මීට වඩා හොඳින් වැඩ කරනවා ඇත.

එයින්ම 12 පිටුය.