Category Archives: China

ග‍්‍රාමීය චීනයේ පාවහන් රහිත වෛද්‍යවරු – 1975

ග‍්‍රාමීය චීනයේ පාවහන් රහිත වෛද්‍යවරු – 1975

[THE BAREFOOT DOCTORS OF RURAL CHINA]

[මේ වාර්තා දසුන යූටියුබ් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. එය චීනයේ පාවහන් රහිත වෛද්‍යවරු ව්‍යාපාරය ගැන තොරතුරු දැන ගැනීමට සකසන ලද කදිම වීඩියෝ පටයකි.]

පාවහන් රහිත වෛද්‍යවරු ව්‍යාපාරය ඇරඹුණේ චීනයේ ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවය සමයේදී සභාපති මාඕ සේතුං විසින් වෛද්‍ය සේවා සහ සෞඛ්‍ය පහසුකම් වඩාත් නගරබද පෙදෙස්වල කේන්ද්‍රගතව තිබීම දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට ප‍්‍රතිචාරයක් වශයෙනි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ආරම්භ කළ පාවහන් රහිත වෛද්‍යවරු ව්‍යාපාරය චීනයේ පමණක් නොව ලෝකයේ සහ මානව සංහතියේ ඓතිහාසික සටහනක් තැබීය. ඒ වන තෙක් ලෝකයේ කිසිදු රටක් එවැනි දැවැන්ත පරිමාණයේ සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ පුළුල් ව්‍යාපාරයක් ආරම්භ කොට නොතිබුණි. දිළිඳු රටක් ව තිබූ චීන මහජන සමූහාණ්ඩුව සතුව ඒවන විටත් ඉතාමත් අඩු වෛද්‍යවරු පිරිසක් පමණක් සිටි අතර එයිනුත් අති බහුතර නගරබල පෙදෙස්වල සේවය කරමින් සිටි අතර මිලියන ගණන් වූ චීන ජනගහනයේ මූලික සෞඛ්‍ය වෛද්‍ය සේවා සැපයීමටත් එය සමත් නොවීය.

පාවහන් රහිත වෛද්‍යවරු යනු සමාජවාදී නව ද්‍රව්‍යයකි. එනම් එය සමාජවාදී ක‍්‍රහයක් විසින් හඳුන්වාදෙනු ලැබූ ක‍්‍රමවේදයකි. එම වැඩපිළිවෙල යටතේ චීන ජනතාවට අවශ්‍ය, නිතර හමුවෙන සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ග‍්‍රාමීය ආයුර්වේද වෛද්‍යවරු සහ දක්ෂ ගොවියන් ඒ සඳහා විශේෂයෙන් සකසන ලද ඇකඩමි වල පුහුණු කරන ලදි. බොහෝවිට ඔවුන්ගේ පුහුණව මාස 6 ක් වසරක් වැනි කාලයක් විය. ඔවුන්ට නිතර මුණ ගැසෙන රෝගාබාධයන්ට ප‍්‍රතිකාර ලබා දීමට, ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, පවුල් සැලසුම් සහ උපත් පාලන උපදෙස් ලබා දීම මෙන්ම අඛණ්ඩව ජනතාව සෞඛ්‍ය සම්පන්න දිවියක් වෙත යොමු කිරීමට උපදෙස් ලබා දීමද සිදු විය. බොහො විට මෙම වෛද්‍යවරු වැඩ බිම්, ගොවිබිම් ආදී ජනතාව වැඩ කරන ස්ථාන වෙත ඇවිදිමින් ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දුන්හ. එමෙන්ම ඒ සෑම අවස්ථාවකදීම සනීපාරක්ෂාව සහ රෝගාබාධයන්ගෙන් වැළකීමට උපදෙස් ලබා දීමද සිදු කරන ලදි.

මෙම වැඩසටහන යටතේ චීනයේ කෝටි ගණන් ජනතාවට ප‍්‍රතිශක්තිකරණය ලබා දීමේ දැවැන්ත වැඩසටහනක් දියත් කරන ලදි. මෙය එතෙක් මානව ඉතිහාසයේ දියත්කළ දැවැන්තම සෞඛ්‍ය ව්‍යාපාරය විය. මාඕගේ පාලන වකවානුව තුළ චීන පුරවැසියන්ගේ ආයු අපේක්ෂාව විප්ලවයට පෙර තිබුණු අගය මෙන් දෙගුණයක් දක්වා වැඩි විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඓතිහාසික සෞඛ්‍ය ව්‍යාපාරයේ අත්දැකීම් ප‍්‍රයෝජනයට ගනිමින් තුන්වෙනි ලෝකයේ රටවල් වලට ප‍්‍රතිශක්තිකරණ ලබා දීමේ වැඩසටහන් දියත් කළහ. බීසීජී, පෝලියෝ වැනි එන්නත් ලබා දීමේ වැඩසටහන් ලෝකය පුරා දියත් කෙරුණේ ඉන් පසුවය.

 

දෙවැනි ලෝක යුද්ධයෙහි හැරෙන තැන

දෙවැනි ලෝක යුද්ධයෙහි හැරෙන තැන

1942, ඔක්තෝබර් 12

[මේ කතුවැකිය සහෝදර මාඕ සේතුං විසින් යෙන්ආන් නුවර විමුක්ති දිනපතා පුවත්පත සඳහා ලියන ලදි.]

Map of Stalingrad

 

ස්ටැලින්ග‍්‍රාඩ් සටන බි‍්‍රතාන්‍ය සහ ඇමරිකන් පුවත්පත් විසින් වර්ඩන් සටන හා සසඳා ඇත; ‘‘රතු වර්ඩන්,, දැන් ලොව පුරා පතළ ය. මේ සැසඳීම කොහෙත් ම සුදුසු නො වේ. ස්ටැලින්ග‍්‍රාඩ් සටන ස්වභාවය අතින් 1වැනි ලෝක යුද්ධයේදී කළ වර්ඩන් සටනට වෙනස් ය. එහෙත් ඒවාට පොදු වූ දෙයක් ද ඇත – එනම්, එකල මෙන් දැන් ද, බොහෝ දෙනා ජර්මනියට යුද්ධය දිනන්ට තවම පුළුවන් ය’යි සිතීමට ජර්මන් පහරදීම මගින් නොමග යවනු ලැබ සිටිති යන්නයි. 1වැනි ලෝක යුද්ධය 1918ටේ සීතසෘතුවෙදී අවසන් වීමට දෑවුරුද්දකට පෙර, 1910 දී ජර්මන් බලසේනාවෝ වර්ඩන්හි ප‍්‍රන්ස බලකොටුවට ප‍්‍රහාර කීපයක් ම දියත් කළහ. වර්ඩන්හි ප‍්‍රධාන අණදෙන්නා වූයේ ජර්මන් ඔටුන්න හිමි කුමාරයා ය; සටනට යවනලද බලසේනාවෝ ජර්මන් හමුදාවේ ඉස්තරම් ම කොටස වූහ. සටන තීරණාත්මක වැදගත්කමකින් යුක්ත විය. රුදුරු ජර්මන් වේගවත් ප‍්‍රහාරයන් ව්‍යර්ථ වූ පසු, මුළු ජර්මන්-ඕස්ති‍්‍රයන්-තුර්කි-බුල්ගේරියානු පිලට අනාගතයක් නැති විය; එතැන් සිට ඒ පිලේ දුෂ්කරතා වැඩි වෙන්ට විය, එය එහි අනුගාමිකයන් විසින් අත් හරිනු ලැබී ය, එය කැඞී බිඳී වීසිරී ගොස්, අන්තිමේදී ඇද වැටුණි. එහෙත් ඒ කාලයේ. ඉංග‍්‍රිසි-ඇමරිකන්-ප‍්‍රන්ස පිල, ජර්මන් හමුදාව තවම ඉතා බලවත් ය’යි විශ්වාස කරමින්, මේ තත්වය තරයේ වටහා නො ගත්තේ ය; ඔව්හු තමන්ගේ ජයග‍්‍රහණය ළං ළං ව එන බව නො දත්හ. ඉතිහාසීය වශයෙන්, විනාශ වීමට ළං වී සිටින සියලූ ප‍්‍රතිගාමී බලවේගයෝ එක්වැනිව ම විප්ලවවාදී බලවේගයන්ට විරුද්ධ ව අවසාන වියරු අරගලයක් කරති; ඇතැම් විප්ලවවාදියෝ, තමන් ජයග‍්‍රහණය කරා ළඟා වමින් සිටින අතර සතුරා අභාවයට කිට්ටු වමින් සිටී යන අවශ්‍ය සත්‍ය කාරණය වටහාගැනීමට අසමත් ව, පිටතින් ශක්තිය නමුත් ඇතුළතින් දුර්වලත්වය පිළිබඳ මේ ප‍්‍රපංචය විසින් කලකට මුළා කරනු ලබන සුලූ වෙති. පැසිස්ට්වාදයේ බලවේගයන්ගේ නැඟීම ත් ඔවුන් විසින් අවුරුදු කීපයක් තිස්සේ කරගෙන යන ආක‍්‍රමණ යුද්ධය ත් එබඳු අවසාන වියරු අරගලයක් ප‍්‍රකාශයට පත්වීම ම වේ. මේ වර්තමාන යුද්ධයේදී ස්ටැලින්ග‍්‍රාඩ් නගරයට දුන් ප‍්‍රහාරය පැසිස්ට්වාදයේ ම අවසාන වියරු අරගලය ප‍්‍රකාශයට පත්වීම වේ. ඉතිහාසයෙහි මේ හැරෙන තැනදී ත්, ලෝක පැසිස්ට්-විරෝධී පෙරමුණේ සිටින බොහෝ අය පැසිස්ට්වාදයේ රුදුරු පෙනුමෙන් මුළාවට පත් වී, එහි හරය දක්නට අසමත් වී සිටිති. මුළු ජර්මන් බලසේනාව ඩොන් නදියේ වංගුව පැන, ස්ටැලින්ග‍්‍රාඩ් නගරයට මුළු වෙර යොදා දුන් ප‍්‍රහාරය පටන් ගත් අගෝස්තු 23වැනි දා සිට, ජර්මන් සේනාංග සමහරක් නගරයේ වයඹදිගු කොටසේ කර්මාන්ත දිස්ත‍්‍රික්කය තුළට කඩා වැදුණු සැප්තැම්බර් 15වැනි දා තුළින්, රතු හමුදාව ඒ දිස්ත‍්‍රික්කයෙහි ජර්මන් වට වළල්ල බිඳ ඇතැ’යි සෝවියට් ප‍්‍රවෘත්ති බියුරෝව ප‍්‍රකාශ කළ ඔක්තෝබර 9වැනි දා තෙක් ම, පුරා දින හතළිස්අටක්, මිනිස්වර්ගයාගේ ඉතිහාසයෙහි අසමසම වූ, පෙර නුවූ විරූ විධියේ දරුණු සටනක් එහි ඇවිලූණේ ය. අන්තිමේදී මේ සටන සෝවියට් බලසේනාවන් විසින් ජය ගනු ලැබී ය. ඒ දින හතළිස්අට තිස්සේ, ඒ නගරයෙන් ආ එක් එක් අසීරුව හෝ ජය පිළිබඳ පුවත්, අපමණ වූ දස ලක්ෂ ගණන් මිනිසුන් වෙත වරෙක සිත් තැවුල ගෙනෙමින් ද, වරෙක ඔවුන් මහත් ප‍්‍රමෝදයෙන් කළඹමින් ද, ඔවුන්ගේ හදවත් තරයේ ම ග‍්‍රහණය කර ගත්තේ ය. මේ සටන සෝවියට්-ජර්මන් යුද්ධයේ හැරෙන තැන පමණක්, එසේ ත් නැතහොත් වර්තමාන පැසිස්ට්-විරෝධී ලෝක යුද්ධයේ ම හැරෙන තැන පමණක්, නො වේ; එය සකල මිනිස්වර්ගයාගේ ඉතිහාසයෙහි ම හැරෙන තැන වේ. මේ දින හතළිස්අට මුළුල්ලෙහි, ලෝකයේ ජනතාව, පසුගිය ඔක්තෝබරයේදී ඔවුන් මොස්කව් නුවර දෙස බලා සිටියාට ත් වඩා මහත් ඕනෑකමින්, ස්ටැලින්ග‍්‍රාඩ් නුවර දෙස බලා සිටියහ.

බටහිර පෙරමුණෙහි තමාට ජය අත් වන තුරු, හිට්ලර් පරෙස්සමින් වැඩ කළා සේ පෙනෙයි. ඔහු පෝලන්තයට පහර දුන් කල, ඔහු නෝර්වේ රටට පහර දුන් කල, ඔහු ඕලන්දයට, බැල්ජීයමට හා ප‍්‍රන්සයට පහර දුන් කල සහ, ඔහු බෝල්කන් රටවල් වලට පහර දුන් කල, ඔහු, තම අවධානය හැම අතට ම විසුරුවන්නට එඩිතර නො වෙමින්, එක් වරකට එක් අරමුණක් වෙත පමණක් තම මුළු ශක්තිය ඒකරාශී කළේ ය. බටහිර පෙරමුණෙහි ඔහුගේ ජයග‍්‍රහණයට පසු, ඔහු ප‍්‍රීතියෙන් කූල්මත් වී, තුන් මසකින් සෝවියට් සංගමය පරාජය කරන්ට උත්සාහ කළේ ය. ඔහු මේ ඉමහත් සහ බලවත් සමාජවාදී රටට විරුද්ධ ව උතුරේ මුර්මාන්ස්ක්හි සිට දකුණේ ක‍්‍රිමියාව තෙක් විහිදුණු මුළු පෙරමුණ දිගට ම පහරදීමක් දියත් කළේ ය; එසේ කිරීමේදී තම බලසේනාවන් විසිරී සිටින්ට සැලසුවේ ය. පසුගිය ඔක්තෝබරයෙහි මොස්කව් යුද්ධව්‍යාපාරය ව්‍යර්ථ වීම සෝවියට්-ජර්මන් යුද්ධයේ පළමුවැනි අවස්ථාවේ අවසානය සලකුණු කළේ ය. හිට්ලර්ගේ පළමුවැනි උපායමාර්ගික සැලැස්ම ව්‍යර්ථ විය. රතු හමුදාව ගිය අවුරුද්දේ ජර්මන් පහරදීම නතර කොට, සීතසෘතුවේදී සියලූ ම පෙරමුණු වල පෙරළා පහරදීමක් දියත් කළේ ය; එය, හිට්ලර් පසුබැසීමට ත් ආරක්ෂා වීමට ත් හැරුණු, සෝවියට්-ජර්මන් යුද්ධයේ දෙවැනි අවස්ථාව විය. මේ වකවනුවේදී. තම ප‍්‍රධාන අණදෙන්නා වූ බ්‍රේා්කිට්ශ් නිලයෙන් පහ කිරීමෙන් පසු, විධානය තමාට ම පවරාගෙන, ඔහු මුළු වෙර යොදා හැම තැන ම එක විට කරන පහරදීමක් කිරීම පිණිස වූ සැලැස්ම අත හැර දමන්ට තීරණය කළේ ය. යුරෝපය පීරා එකතු කර ගත හැකි සියලූ බලසේනා එකතු කර ගත්තේ ය, දකුණු පෙරමුණට සීමා වූ නමුත්. සෝවියට් සංගමයේ මර්මස්ථාන වලට පහර වදිනවා ඇතැ’යි ඔහු සිතින් සිතා ගත් අන්තිම පහරදීමක් සුදානම් කළේ ය. එය පැසිස්ට්වාදයේ ඉරණම එල්බී තිබුණු අන්තිම පහරදීමක ස්වහාවයෙන් වූ නිසා, හිට්ලර් ඒකරාශී කළ හැකි බලසේනා වැඩි ම ගණන ඒකරාශී කළේ ය, උතුරු අප‍්‍රිකානු සටන් පෙරමුණෙන් ඔහුගේ අහස්යානා සහ යුද ටැන්කි කොටසක් පවා ගෙනාවේ ය. මේ අවුරුද්දේ මැයි මාසයෙහි කර්ච් සහ සෙවැස්ටපොල් නගර වලට දුන් ජර්මන් ප‍්‍රහාරය ත් සමග, යුද්ධය එහි තුන්වැනි අවස්ථාවට ඇතුල් විය. තම අහස් සහ යුද ටැන්කි සේනාවන් ගෙන් වැඩි කොටස විසින් අනුබල දෙනලද, 15,00,000කට වැඩි හමුදාවක් එක්රැස් කරමින්, හිට්ලර් ස්ටැලින්ග‍්‍රාඩ් නගරයට සහ කෝකේසස් ප‍්‍රදේශයට පෙර නුවූ විරූ ලෙස දරුණු වූ පහරදීමක් දියත් කළේ ය. ඔහු වොල්ගා නදිය කපා දැමිමේ ත් බාකු නගරය පැහැර ගැනිමේ ත් උභය අභිප‍්‍රාය සඳහා ඒ අරමුණු දෙක මහත් වේගයෙන් අල්ලාගැනීමට ප‍්‍රයත්න දැරී ය; අනතුරුව මොස්කව් නුවරට විරුද්ධ ව උතුරට කාගෙන යන්ට ත් දකුණෙහි පර්සියන් බොක්ක වෙත කඩා බිඳගෙන යන්ට ත් ඔහු අදහස් කළේ ය. ඒ අතර ම ඔහු ස්ටැලින්ග‍්‍රාඩ් වැටුණු පසු සයිබීරියාවට පහරක් දීමට සූදානම් ව තම භටකණ්ඩායම් මැන්චූරියාවෙහි එක්රැස් කර තබන ලෙස ජපන් පැසිස්ට්වාදීන් මෙහෙයවී ය. ජර්මන් සහ ජපන් යන හමුදා දෙකේ ම පසුමුණ සුරක්ෂිත ව ඇතිව, බටහිර පෙරමුණෙහි ඉංග‍්‍රිසි-ඇමරිකන් ප‍්‍රහාරයක් ගැන ක‍්‍රියා කරනු පිණිස ත් මෑත පෙරදිග ධන-නිධාන අල්ලාගැනීම පිණිස සහ ජපනුන් සමග සන්ධි වීමක් කරනු පිණිස ත් ජර්මන් හමුදවේ ප‍්‍රධාන බලසේනාවන් සෝවියට් රණ මණ්ඩලයෙන් නිදහස් කර ගත හැකි වන තරම් දුරට ද, ඒ අතර චීනයට විරුද්ධ ව බස්නාහිරට ත් බි‍්‍රතාන්‍යයට සහ එක්සත් ජනපදයට විරුද්ධ ව දකුණට ත් ගමන් කරනු පිණිස ජපන් හමුදාවේ ප‍්‍රධාන බලසේනාවන් උතුරෙන් නිදහස් කර ගත හැකි වන තරම් දුරට ද, සෝවියට් සංගමය දුබල කිරීමට හිට්ලර් නිෂ්ඵල ලෙස බලාපොරොත්තු විය. පැසිස්ට් කඳවුරට ජය දිනා ගන්ට හිට්ලර් ගණන් බැලූ සැටි එසේ ය. එහෙත් මේ අවස්ථාවේදී කරුණු සිදු වුණේ කෙසේ ද? ඔහුගේ ඉරණම තීන්දු කළ සෝවියට් උපක‍්‍රම වලට මුහුණ පාන්ට හිට්ලර්ට සිදු විය. සෝවියට් සංගමය පළමුකොට සතුරා ඇතුළට ම එන්නට පොළඹා, ඉක්බිති මුරණ්ඩු ලෙස විරුද්දකම් පෑමක් කිරීමේ ප‍්‍රතිපත්තිය යෙදුවේ ය. පස් මසක් සටන් කොට ත් ජර්මන් හමුදාව කොකේසියානු තෙල් ආකර කරා කාගෙන යන්ට වත් ස්ටැලින්ග‍්‍රාඩ් පැහැරගන්ට වත් අසමත් වී සිටී. එහෙයින්, ඉදිරියට යන්ට ත් බැරි ව, පසුබසින්ට ත් බැරි ව, ඉමහත් අලාබ හානි විඳිමින්, හරි ම අවුල් ජාලයකට වැටෙමින්, උස් කඳු ඉදිරියෙහි සහ නො බිඳිය හැකි නුවරක් පිටතෙහි තම භටකණ්ඩායම් නතර කරගෙන සිටින්නට හිට්ලර්ට බලෙන් ම සිදු වී ඇත. දැනට ම ඔක්තෝබරය ඇවිත් ය, සීතසෘතුව ළං වන්නේ ය. කල් නො යාදී ම යුද්ධයේ තුන්වැනි අවස්ථාව අවසන් වී, සිව්වැනි අවස්ථාව ඇරඹෙනෙවා ඇත. සෝවියට් සංගමයට පහර දීමට හිට්ලර් සකස් කළ එක ම උපායමාර්ගික සැලැස්මක් වත් සාර්ථක වී නැත. මේ වකවානුවේදී, ගිය අවුරුද්දේ ග‍්‍රීෂ්මසෘතුවේදී තම බලසේනාවන් බෙදනු ලැබ සිටියදී තමා ලත් පරාජය සිත තබා ගනිමින්, හිට්ලර් ඔහුගේ ශක්තිය දකුණු පෙරමුණ වෙත ඒකරාශී කළේ ය. එහෙත් නැගෙනහිරෙහි වොල්ගා නදිය කපා දැමීම ත් දකුණෙහි කෝකේසස් පැහැරගැනීම ත් යන උභය අභිප‍්‍රාය එක පහරින් ම මුදුන්පත් තර ගැනීමට ඔහුට එතෙක් ම උවමනා වූ නිසා, ඔහු යළි ත් තම බලසේනාවන් බෙදුවේ ය. ඔහුගේ ශක්තිය ඔහුගේ ලොකු බලාපොරොත්තු වලට සරි නො වන බව ඔහුට නො තේරුණේ ය. දැන් ඔහුගේ විනාශය කෙටී ඉවර ය – ‘‘කද් ලීයේ දෙ කොණ හොඳට ගැට ගසා නැත් නම්, එල්ලා තිබෙන කද් ලිස්සා වැටෙයි.’’ සෝවියට් සංගමය ගැන කියන්ට තිබෙන්නේ, ඈ වඩ වඩා සටන් කරන කල ඈ වඩ වඩා ශක්තිමත් වන බව ය. ස්ටැලින්ගේ දීප්තිමත් උපායමාර්ගික මගපෙන්වීම මුලපිරුම සම්පූර්ණයෙන් ම අත් කරගෙන ඇත, හැම තැන ම හිට්ලර් විනාශය දෙසට ඇදගෙන යයි. මේ සීතසෘතුවේදී පටන්ගන්නා යුද්ධයේ සිව්වැනි අවස්ථාව හිට්ලර්ගේ විනාශය ළඟා වීම සලකුණු කරනවා ඇත.

Red army fighting in stalingrad

Red army fighting in stalingrad

 

යුද්ධයේ පළමුවැනි සහ තුන්වැනි අවස්ථාවන්හි හිට්ලර්ට තිබුණු සහ තිබෙන තත්වය සසඳන කල, ඔහු සිටින්නේ අවසාන පරාජයේ එළිපත්ත උඩ බව අපට පෙනෙයි. ස්ටැලින්ග‍්‍රාඩ් නුවර ත් කෝකේසස් ප‍්‍රදේශය ත් යන දෙ තැන ම දැන් රතු හමුදාව ඇත්ත වශයෙන් ම ජර්මන් පහරදීම නවත්වා ඇත; හිට්ලර්, ස්ටැලින්ග‍්‍රාඩ් නුවරට ත් කෝකේසස් ප‍්‍රදේශයට ත් දුන් තම ප‍්‍රහාරයන් ව්‍යර්ථ වූයෙන්, දැන් හෙම්බත් වීමට ළං වී සිටී. පසුගිය දෙසැම්බරයේ සිට මේ අවුරුද්දේ මැයි තෙක්, සීතසෘතුව මුළුල්ලේ ම එක්රැස් කරගන්ට ඔහුට හැකි වූ බලසේනා දැනට ම පාවිච්චි කර ඉවර ය. මසකට ත් අඩු කාලයකින් සෝවියට්-ජර්මන් පෙරමුණට සීතසෘතුව එළඹෙනවා ඇත. කඩිමුඩියේ ආරක්ෂාවීමට හැරෙන්නට හිට්ලර්ට සිදු වෙනවා ඇත. ඩොන් නදියට බටහිරින් සහ දකුණෙන් මුළු බිම් පටිය ම ඔහු වැඩියෙන් ම පහර කන තත්වයක සිටින ප‍්‍රදේශය වේ. රතු හමුදාව එහි පෙරළා පහරදීමට බහිනවා ඇත. මේ සීතසෘතුවේදී, කඩා වැටෙන්ට යන තම විනාශය ගැන ඇති බියෙන් පෙළඹී, හිට්ලර් යළි ත් වරක් තම බලසේනාවන් ප‍්‍රතිසංවිධානය කරනවා ඇත. නැගෙනහිර සහ බටහිර යන පෙරමුණු දෙකේ ම තිබෙන අනතුරු වලට මුහුණ දෙනු පිණිස, තම බලසේනාවන්ගේ සුන්බුන් අතපතගා එකතු කරගෙන. ඔවුන් සජ්ජිත කොට, අළුත් ඩිවිසන් කීපයක් බවට සකස් කරන්නට බාගවිට ඔහුට පුළුවන් වෙනවා ඇත; ඊට අමතර ව, ඔහු උදව් ලබා ගන්ට ඔහුගේ පැසිස්ට් කොටස්කරුවන් වන ඉතාලිය, රුමේනියාව සහ හංගේරියාව වෙත හැරී, කාලතුවක්කු-බිලි තව ටිකක් ඔවුන් ගෙන් බලහත්කාරයෙන් ම ලබා ගන්නවා ඇත. කෙසේ වේවා, නැගෙනහිරෙහි සීතසෘතු යුද්ධව්‍යාපාරයකින් සිදු වන අති විශාල අලාබ හානි වලට මූණ පාන්ට ත්, බටහිරෙහි දෙවැනි පෙරමුණ ගැන ක‍්‍රියා කරන්නට සුදානම් වී සිටින්ට ත් ඔහුට සිදු වෙනවා ඇත. ඒ අතර ඉතාලිය, රුමේනියාව සහ හංගේරියාව, හිට්ලර්ගේ කෙරුම් සියල්ල ඉවර බව පෙනෙන නිසා අශුභවාදී වෙමින්, වැඩි වැඩියෙන් ඔහු ගෙන් ඈත් වෙනවා ඇත. කොටින්, ඔක්තෝබර 9වැනි දාට පසු හිට්ලර්ට විවෘත ව තිබෙන්නේ එක් පාරක් පමණකි, එනම් අභාවයට යන පාර යි.

මේ දින හතළිස්අට තුළ රතු හමුදාව විසින් ස්ටැලින්ග‍්‍රාඩ් නගරය ආරක්ෂා කිරීම ත් ගිය අවුරුද්දේ මොස්කව් නගරය ආරක්ෂා කිරීම ත් අතර එක්තරා සමානකමක් ඇත. ඒ කියන්නේ, මේ අවුරුද්ද සඳහා වූ හිට්ලර්ගේ සැලැස්ම ගිය අවුරුද්ද සඳහා වූ ඔහුගේ සැලැස්ම මෙන් ම ව්‍යර්ථ කර දමනලද බව ය. කෙසේ වේවා, ඇති වෙනස නම් සෝවියට් ජනතාව මොස්කව් නුවර ආරක්ෂා කිරීමට පසු එතැනින් නතර නො වී සිතසෘතුවේදී පෙරළා-පහරදීමක් දිගට ම ගෙනගිය නමුත්, මේ අවුරුද්දේ ග‍්‍රිෂ්මසෘතුවේදී ජර්මන් හමුදාව කළ පහරදීමට මූණ දෙන්නට ඔවුන්ට සිදු වීම ය; ඒ එසේ වූයේ එක් කොටසකින් ජර්මනියට ත් ඇගේ යුරෝපීය හවුල්කාරයන්ට ත් එතෙක් ම කිසියම් සටන් ශක්තියක් ඉතිරි වී තිබුණු නිසා ය, තවත් කොටසකින් බි‍්‍රතාන්‍යය ත් එක්සත් ජනපදය ත් දෙවැනි පෙරමුණ විවෘත කිරීම ප‍්‍රමාද කළ නිසා ය. එහෙත් දැන්, ස්ටැලින්ග‍්‍රාඩ් නගරය ආරක්ෂා කිරීමට කළ සටනට අනතුරුව, තත්වය ගිය අවුරුද්දේ තත්වයට වඩා මුළුමනින් ම වෙනස් වෙනවා ඇත. එක් අතකින්, සෝවියට් සංගමය දෙවැනි සීතසෘතු පෙරළා-පහරදීමක් විශාල පරිමාණයකින් දියත් කරනවා ඇත, (නියම දිනය තවම කල්තබා කියන්ට බැරි නමුත්)

දෙවැනි පෙරමුණ විවෘත කිරීම තව දුරට ත් පමා කරන්ට බි‍්‍රතාන්‍යයට සහ එක්සත් ජනපදයට බැරි වෙනවා ඇත. යුරෝපයේ ජනතාව අනුකූලතාව දක්වමින් නැඟී සිටින්ට සූදානම් ව සිටිනවා ඇත. අනික් අතින්, විශාලපරිමාණයේ පහරදීම් අරඹන්ට ශක්තියක් ජර්මනියට සහ ඇගේ යුරෝපීය හවුල්කාරයන්ට තව දුරට ත් නො තිබෙනවා ඇත, තම මුළු ප‍්‍රතිපත්ති මාර්ගය උපායමාර්ගික ආරක්ෂාවීමට හරවනවා විනා වෙන කළ හැකි දෙයක් හිට්ලර්ට නො තිබෙනවා ඇත. උපායමාර්ගික ආරක්ෂාවීමට බහින්නට හිට්ලර්ට බලෙන් ම සිදු වූ කල, පැසිස්ට්වාදයේ ඉරණම තීන්දු වුණා වේ. එහි බිහිවීමේ පටන් ම, හිට්ලර්ගේ වැනි පැසිස්ට් රජයක් තම දේශපාලන සහ යුද්ධමය ජීවිතය ගොඩනඟන්නේ පහරදීම කරමින් ය; එහි පහරදීම නතර වූ කල එහි ජීවිතය ම නතර වේ. ස්ටැලින්ග‍්‍රාඩ් සටන පැසිස්ට්වාදයේ පහරදීම නතර කරනවා ඇත; එහෙයින් එය තීරණාත්මක සටනකි. ඒය මුළු ලෝක යුද්ධයට ම තීරණාත්මක වේ.

හිට්ලර්ට අභිමුඛ ව බලවත් සතුරෝ තුන් දෙනෙක් සිටිති. එනම් සෝවියට් සංගමය ත්, බි‍්‍රතාන්‍යය හා එක්සත් ජනපදය ත්, ජර්මනිය විසින් අල්ලාගෙන තිබෙන ප‍්‍රදේශ වල ජනතාව ත් ය. නැගෙනහිර පෙරමුණෙහි, පර්වතයක් මෙන් අචල ව, රතු හමුදාව සිටී; එහි පෙරළා-පහරදීම් දෙවැනි සීතසෘතුව මුළුල්ලේ ම ත් ඉන් ඔබ්බට ත් දිගට ම පවතිනවා ඇත; මුළු යුද්ධයේ ප‍්‍රතිඵලය ත් මිනිස්වර්ගයාගේ ඉරණම ත් තීරණය කරන්නේ මේ බලවේගය යි. බටහිර පෙරමුණෙහි, බි‍්‍රතාන්‍යය ත් එක්සත් ජනපදය ත් නිකම් බලා සිටීමේ සහ උවමනාවෙන් ම පමා කිරීමේ තම ප‍්‍රතිපත්තිය දිගට ම ගෙනගියත්, මැරූ කොටියාට තඩිබාන්ට කාලය පැමිණි විට, අන්තිමේදී දෙවැනි පෙරමුණ විවෘත කරනවා ඇත. ඊළඟට හිට්ලර්ට විරුද්ධ අභ්‍යන්තර පෙරමුණ, එනම් ජර්මනියෙහි, ප‍්‍රන්සයෙහි සහ යුරෝපයේ සෙසු කොටස් වල ඇතිවේගෙන එන ජනතාවගේ මහා නැඟීසිටීම, තිබේ; සෝවියට් සංගමය මුළු වෙර යොදා කරන පෙරළා-පහරදීම දියත් කළ මොහොතේ ම සහ දෙවැනි පෙරමුණේ ගජනා ගිගුම් දෙන්ට පටන් ගන්නා මොහොතේ ම, ඒ ජනතාව තුන්වැනි පෙරමුණකින් පිළිතුරු දෙනවා ඇත. මෙසේ, තුන් පෙරමුණකින් වදින ප‍්‍රහාරයක් හිට්ලර් වෙත එක විට එල්ල වෙනවා ඇත – ස්ටැලින්ග‍්‍රාඩ් සටනට පසු ඇති වන මහා ඉතිහාසීය ක‍්‍රියාවලිය එබඳු ය.

නැපෝලියන්ගේ දේශපාලන ජීවිතය අවසන්රු වූයේ වෝටලූවේදී ය. එහෙත් හැරෙන තැන වූයේ මොස්කව් නුවරදී ඔහු ලැබූ පරාජය යි. හිට්ලර් අද නැපෝලියන් ගිය පාරේ ම පිය නඟයි. ඔහුගේ විනාශය තීන්දු කර ඇත්තේ ස්ටැලින්ග‍්‍රාඩ් සටන ය.

මේ වර්ධනයෝ ඈත පෙරදිගට කෙළින් ම බල පානවා ඇත. එන අවුරුද්ද ජපන් පැසිස්ට්වාදයට ත් වගතුවක් ඇති අවුරුද්දක් නො වෙනවා ඇත. කල් යන විට එය එහි මිනීවළට පාත් වෙන තුරු එහි හිසරද වැඩෙනවා ඇත.

ලෝක තත්වය ගැන අශුභවාදී මතයක් ගන්නා සියලූ දෙනා ම තම අදහස වෙනස් කළ යුත්තාහ.

නොදන්නා සංස්කෘතික විප්ලවය

නොදන්නා සංස්කෘතික විප්ලවය

චීනයේ ජීවිත සහ ගම්මාන වල වෙනස්වීම

1966-1976 දක්වා චීනයේ ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයට (GPCR-Great Proletarian Cultural Revolution) ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් දායක වුණි. එය නිදහස උදෙසා වූ අරගලය මානව ඉතිහාසයේ නොදුටු ඉහළ තලයකට ගෙන ගියහ. නමුත් අද චීනයේ සංස්කෘතික විප්ලවය ගැන ජනතාවට ඇහෙන දේවල් පටු අසත්‍යයන්ය. මෙය ලියන ඩොන්පිං හෑන් (Dongping Han) වැඩුණේ ශ්‍රෙෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවය සමයේදීය. ‘‘නොදන්නා සංස්කෘතික විප්ලවය-චීනයේ ජීවිත සහ ගම්මාන වල වෙනස්වීම’’ නැමැති පොතේ කතුවරයාද ඔහුය. ඔහුගේ කථාව සංස්කෘතික විප්ලවයේ සත්‍යය දැන ගැනීමට සුබදායී දායකත්වයක් සපයයි. 2008 දෙසැම්බර් මාසයේදී, විප්ලවය පොත්, සත්‍ය වාර්තා ගැලපීමේ ව්‍යාපෘතිය, සහ නිව්යෝර්ක් පුස්තකාලයේ මහජන දැනුම පිළිබඳ ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවති  ‘‘චීන සංස්කෘතික විප්ලවය යළි සොයා ගැනීම: කලාව සහ දේශපාලනය, ජීවමානවූ අත්දැකීම්, විමුක්තියේ උරුමයන්’’ යන ඉතා වැදගත් කතිකාවට  ඩොන් පින් හෑන් සහභාගි වුණි. 2008 දෙසැම්බර් 12 වන දා, කතිකාවතේ ආරම්භක දින රාත‍්‍රී ඩොන්පින් හෑන් විප්ලවය පොත් හලේදී කථා කළේය. බායි ඩයි (Bai Di) ද, මෙම කතිකාවේදී කථා කළ අතර ඇය ද සංස්කෘතික විප්ලවය කාලයේදී හැදී වැඩුණු අතර ඈ සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් revcom.us වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

පහත දැක්වෙන්නේ ඩොන්පින් හෑන් ගේ කථාවේ සංස්කරණය කළ පිටපතයි.

මගේ පොත සංස්කෘතික විප්ලවය සමයේ චීන අධ්‍යාපනයේ ප‍්‍රතිසංස්කරණ පිළිබඳවය. මම විප්ලවය සමග ජීවත් වූ අයෙක් වෙමි. මම චීනයේ සමූහ ගොවිපළවල වැඩුණු අයෙක්මි. මම අවුරුදු නවයෙහිදී ගොවිපළේ වැඩ කරන්න පටන් ගතිමි. ඒ දිනවල චීනයේ පාසැල් දින දෙකක් සහ හවස් වරු දෙකකුත්, ඉරිදා දිනයකුත් ළමුන්ට ගොවිපළ වල වැඩ කිරීම සඳහා වසා දමති. එම නිසා පාසැලේ ඉඳිමින්ම මම දින දෙකක් වැඩ කළෙමි. සමූහ ගොවිපළ වලින් ළමුන්ගේ වැඩ සඳහා වැඩ ලකුණු1 ලැබුණි. වැඩිහිටියන් හට දිනක වැඩ සඳහා වැඩ ලකුණු 10 ක් ලැබුණි. ගොවිපළේ වැඩ කරමින් මම හැම දිනයකම වැඩ ලකුණු 5.7 ක් ලබා ගත්හ. එලෙස වයස නවයේදීම මට විප්ලවයට දායක වන්නට ඉඩ ලැබුණි. සෑම කෙනෙකුටම ගොවිපළේ වැඩ කරන්න පුළුවන් වුණි. ඔබට වැඩ කරන්න ඕනෑ වුනි නම් හැම විටම රැකියාවක් ලැබුණි. ඒ දිනවල මගේ රැකියාව ඉතා පහසු එකකි. උදාහරණයක් ලෙස වැඩිහිටියො වගාවලට නදියෙන් වතුර රැගෙන එන අතර මම පැළවලට වතුර දැමුවෙමි.

මගේ පොතෙන් මම විග‍්‍රහ කරන්නේ සංස්කෘතික විප්ලවයේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සහ පිටිසරබද පෙදෙස් වල ඒ පිළිබඳ ආකල්පයන් පිළිබඳවයි. මගේ තරුණ කාලයේදී ගමේ හිටිය බොහෝ පුද්ගලයින් නූගත් උදවියයි. මගේ දෙමව්පියොත් නූගත් අයයි. චීන කොමියුනිස්ට් පක්‍ෂය බලයට ඒමට පෙර චීනයේ බොහෝ ගොවීන් පාසැල් යාමට තරම් හැකියාවක් නොමැති ලෙසට දිළිඳු අයයි. වයස අවුරුදු 12 දී ම මගේ පියා පූර්ණකාලීනව කර්මාන්තශාලාවක වැඩ කිරීම අරඹා ඇත. මගේ මව ගමේ තිබුණු එම්බ්‍රොයිඩර් වැඩ පළක වැඩ කිරීම අරඹා තිබුණේ ඇයට වයස අවුරුදු 6 ක් වන විටයි. එනිසා ඔවුනට කිසිම අධ්‍යාපනයක් ලැබී නැහැ. මට ඥති සහෝදර සහෝදරියන් පස් දෙනෙක් විය. මම වැඩෙන විට ගමේ මට වඩා වයසින් වැඩි බොහෝ දරුවන්ට පාසැල් යාමට නොහැකි වුණා. මගේ ඥති සහෝදරයන්ට සහ මගේ වැඩිමහල් සහෝදරියටද පාසැල් යාමට නොහැකි වුණා.

චීන කොමියුනිස්ට් පක්‍ෂයට ගැමි ජනතාව උදෙසාවූ අධ්‍යාපන ක‍්‍රමයක් උරුමව තිබුණි. ගමේ දරුවන්ට පාසැල් යෑම ඉතා දුෂ්කර වුණි. මම පළවන පන්තිය පටන් ගන්නා විට, විභාගයක් සමත් වීමට තිබුණා. දරුවන්ට පාසැල් යාමට අවශ්‍ය නම් පාසැලට යාමට පෙර ලිවීමේ හැකියාව ලබා ගැනීම අවශ්‍ය වුණා. එපමණක් නොවෙයි 100 ට ගණන් කිරීමේ හැකියාව ලබා ගත යුතුව තිබුණා.

නමුත් බොහෝ දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් හට මේ ටික ඉගැන්වීමට දක්‍ෂතාවයක් නොතිබුණ බැවින් ඔවුනගේ ළමුන් පාසැල් වලට නොතේරුණි. ප‍්‍රතික්‍ෂේප වුණි. ගම්බද පාසැල් වල අවශ්‍ය ප‍්‍රමාණයට ඉඩ කඩ නොතිබුණ බැවින් මෙම කාලයේදී පාසැලට ඇතුලත් වීමේ විභාගය අවශ්‍ය විය. නමුත් වසර තුනක් ඇතුළත, සංස්කෘතික විප්ලවය සමයේදී, මගේ පළාතේ හැම ගමකම ප‍්‍රාථමික පාසැලක් ඇරඹීමට කටයුතු යෙදුණා. ඒ කාලයෙහි මගේ පළාතේ ගම්මාන 1050 ක් තිබුණා. සංස්කෘතික විප්ලවයේ වසරක් ඇතුලත සෑම ගමකම පාසැලක් ඇරඹුණා. පාසැල් යන වයසේ සෑම ළමයෙක්ම නොමිලේ අධ්‍යාපනය ලැබීම සඳහා පාසැල් වලට ඇතුළු වුණා. අද චීන රජය සහ චීන රජයට පක්‍ෂපාත කොටස් චීන සංස්කෘතික විප්ලවය සමයේ පැවති චීන අධ්‍යාපනය විනාශකාරී යැයි පවසනව. මෙය ඉතා සරල මිත්‍යාවකි.

සංස්කෘතික විප්ලවයේ දසවන වසරේදී චීනයේ ගම්බද අධ්‍යාපනය දියුණුවට පත් වුණා. සෑම ගම්මානයකම පාසැල් 4 ක් එකතු කර ඒකාබද්ධ මධ්‍ය විද්‍යාල ඇති කළා. එම නිසා ප‍්‍රාථමික අධ්‍යාපනය හොඳින් ලබාගත් සෑම ළමයෙක්ම ඇතුළත් වීමේ විභාගයකින් තොරව මධ්‍ය විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා ලදි. ඔනෑම කෙනෙකුට ඒවාට ඇතුල්වීමට ඉඩ කඩ ලැබුණු අතර අධ්‍යාපනය මුලූමනින්ම නොමිලේ විය. මගේ පළාතේ කොමියුනයේ උසස් අධ්‍යාපනය සඳහා පාසැල් 4ක් තිබුණි. සංස්කෘතික විප්ලවයට පෙර උසස් අධ්‍යාපනය සඳහා තිබුණේ එක් උසස් අධ්‍යාපන ආයතනයකි. එහිද තිබුණේ පන්ති දෙකක් පමණි. 1950-1966 දක්වා වූ 17 වසර තුළ එම උසස් අධ්‍යපන ආයතනය උපාධිධාරීන් 1500 ක් බිහි කළේය. 800 ක් අධ්‍යාපන ආයතනයට ගියත් ආපසු නොපැමිණියේය. ඉතිරි 700 ක් දෙනා රජයේ සේවයේ යෙදුණි නැතිනම් හමුදාවට බැදුණි. උසස් අධ්‍යාපනය සාර්ථකව නිමකළ කිසිවෙක් බිහි නොවුණි.

1972 දී මම කොමියුනයේ උසස් පාසැලට ඇතුලූවන විට මගේ පාසැලේ මගේ වයසේ ළමුන් 1000 පමණ සිටියා. මම පාසැලෙන් සමත් වන විට, මගේ ගමේ පාසැලෙන් උපාධි ලැබූ ළමුන් 100 පමණ සිටියා. මෙම උපාධිධාරීහු චීනයේ පිටිසර බද පෙදෙස් සංවර්ධනය කිරීමෙහි ලා විශාල වැඩ කොටසක් ඉටු කරන ලදි. ඔවුන්හට ඔවුන්ගේ වැඩිහිටියන් ඉටු කර තිබුණාට වඩා වැඩි වැඩ කොටසක් චීනය වෙනුවෙන් ඉටු කරන්න ලැබුණි.

සංස්කෘතික විප්ලවයට පෙර අපි ගොවිතැනෙහි පමණක් යෙදුණෙමු. සංස්කෘතික විප්ලවය සමයේ උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි ලද අය ගමේ ආර්ථිකය දියුණු කිරීමට උපකාර කළා. උසස් පාසැලේ උපාධිධාරීන්ගෙන් සැදුම් ලත් වන ජීව කණ්ඩායමක් අපට තිබුණි. ඔවුන් විවිධ වර්ගයේ පළතුරු, ගම්මිරිස්, සහ වෙනත් ගස් වර්ග වගා කළහ. අප විසින් කර්මාන්ත ශාලාවක්ද ගොඩ නගන ලදි. පුද්ගලයෝ 175 දෙනෙක් එහි සේවයෙහි නිරත විය. අද චීනයේ ගම්බද තරුණයන්ට රැකියා සොයා නගරයට පැමිණීමට සිදුව ඇත. නමුත් සංස්කෘතික විප්ලවය සමයේ, අපට කොහේවත් යාමට සිදු වුණේ නැත. අපි කිසිවෙක් තව අයෙකුගේ වහළෙකු නොවීමු. අපි අපේ අනාගතය සඳහා වැඩ කළෙමු. කර්මාන්තශාලාවේ වැඩ කළ 175 දෙනා සාමූහිකව ඉපයුවා. එය ගොවීන්ගේ ජීවිත සංවර්ධනය කරන ලදි.

කර්මාන්ත ශාලාව ගමට අවශ්‍ය කෘෂි උපකරණ නිපදවීය. අපට ට‍්‍රැක්ටර් දෙකක් සහ පිකප් රථ දෙකක් තිබුණි. ආපසු හැරී බැලූ විට මට හිතෙනව, නිෂ්පාදනය ඉහළ ගිය නිසා සංස්කෘතික විප්ලවයේ අවුරුදු වලදී ගොවීන්ගේ ජීවිත සෑම අංශයකින්ම උසස් සංවර්ධනයක් අයත් කර ගත් බව. මේ දස වර්ෂය තුළදී මගේ රටේ ධාන්‍ය අස්වැන්න දෙගුණයකට වඩා ඉහළ නැංග අතර ආදායම ද දෙගුණයකටත් වඩා ඉහළට නැඟුණි. නමුත් ධනේෂ්වර චීන රජය ප‍්‍රකාශ කළේ චීන ආර්ථිකය ප‍්‍රපාතයකට ඇද වැටුණු බවයි. මේවා අර්ථ ශූන්‍ය ප‍්‍රලාපයන් වෙති.

චීන රජය සමූහ ගෙවි පොළවල් විසුරුවා හැර ඔවුන්ගේ අයිතියට පවරා ගැනීමට ගොවියන්ගෙන් විමසු විට මගේ ප‍්‍රදේශයේ ගොවියෝ ඊට දැඩි විරෝධයක් දැක්වීය. රජය සමූහ ගොවි පළවල් විසුරුවා හැරීම සඳහා මගේ ප‍්‍රදේශයේ සියලූ ජනපද රාජ්‍ය නායකයින් ඉවත් කරගත්තා. මගේ ගමේ තිබුණු සියළුම දෑ පෞද්ගලීකරණය වුණේ නැහැ. නමුත් ගමේ සියලූ ඉඩම් ටික රජය මිළ දී ගත්තා. ජනයා එයට එරෙහි වුණා. ඔවුන් අපේ ඉඩම් ගත්තා නම් අපේ ඉඩම්වලට වෙනත් ප‍්‍රදේශවල ඉඩම් වලින් වන්දි ගෙවන්න ඔවුන්ට සිදු වුණා. එනිසා අපට අපේ ඉඩම් නැති වුණේ නැහැ. ගම්වල තවම ඒවා තමන්ගෙ විදියට යොදා ගන්න ඉඩම් තිබෙනවා. ගම් වැසියෝ ඒවායෙ තවම හොඳින් කටයුතු කරනවා. ගොවීන්ට අද විශ‍්‍රාම ගැනීමට හැකියාව ලැබී තියෙනවා. මගේ අම්ම තවම සමූහ ගොවිපළෙන් සෑම මාසයකම විශ‍්‍රාම දීමනාවක් ලබනවා. අනෙක් ප‍්‍රදේශවල පෞද්ගලික දේපලවුණු ඉඩම්වල ගොවීන් තවමත් දැඩි දුෂ්කරතාවයන්ගෙන් පීඩා විඳිනවා.

1986 දී මම චීනයේ ග‍්‍රාමීය ප‍්‍රදේශ පර්යේෂණය කිරීමේ ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමට සම්බන්ධ වුණෙමි. එහි ඇමෙරිකානු විශේෂඥයින් දෙදෙනෙක් සහ මා සේවයෙහි නිරත විය. අපි හූනාන් වල (Hunan) ගම්මාන කීපයකට ගියා. ඒ වකවානුවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වල විදේශිකයෙක් දැකීම දුර්ලභ විය. එනිසා අප යන යන තැන අප පසුපස විශාල ජනතාවක් සිටියා. විශේෂයෙන් තරුණ කාන්තාවෝ සහ පිරිමි විය. ඔවුන්ට විදේශිකයෙක් මොන වගේ දැයි දැන ගැනීමට අවශ්‍ය වුණා.

එක දවසක් මම දිවා ආහාරය ගන්නා විට, මම තරුණ ළමයි කීප දෙනෙකුට පත්තරයක ශීර්ෂ පාඨ කීපයක් කියවන්නැයි කීවෙමි. එහෙත් ඔවුහු සිය හිස වැනුවා පමණි. මා මුලදි සිතුවේ ඔවුහු ලජ්ජාවෙන් එසේ කරනු ඇති යන්නයි. සමහර ළමයි කිව්ව ඔවුන් පාසැල් ගොස් නැති බව. මට එය ඇසීම අති විශාල වේදනාවක් ගෙන දුන්නා. කොමියුනය විසුරුවා හැරිය දා සිට සියලූ අධ්‍යාපන ආයතන, සියලූ සෞඛ්‍ය ආයතන කොමියුනය සමගම නැතිව ගොස්ය. මම සංස්කෘතික විප්ලවය සමයේ තිබුණ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන සිතන්න පටන් ගත්තා.

1988 දී මම වැඩි දුර අධ්‍යාපනයට සිංගප්පූරුව වෙත පිටත් වුණෙමි. එතැනින් ඇමෙරිකාවේ ඉගනෙීම සඳහා ශිෂ්‍යත්වයක් මට ලැබුණි. ඇමෙරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය සහ රාජ්‍යතන්ත‍්‍රික සබඳකම් වල ඉතිහාසය ඉගෙන ගැනීම මගේ අදහස විය. ඇමෙරිකාවේදි මම චීන විප්ලවය පිළිබඳව එහි උගතුන් ලියූ දෑ කියෙව්වෙමි. ඔවුන් ලියා තිබුණේ මා අත්දුටු චීන විප්ලවය පිළිබඳව නම් නොවෙයි. ඔවුන් චීනය ගැන ලියා තිබූ දේවල් ගැන මම විමතියට පත්වුණෙමි. ඇමෙරිකාවේ සිදුවන දේවල් ගැන දැඩි ලෙස කණගාටුවට පත් වුණෙමි.

මම මුලින්ම ඇමෙරිකාවට ආව විට ඇමෙරිකාව කොයි වගේද යන්න දැන නොසිටියෙමි. චීනයේ සිටි ඇමෙරිකානු ගැති වූ අය කී පරිදි අසා තිබුණේ ඇමෙරිකාව පුදුම සහගත දියුණු රටක් ලෙසයි. මම ඇමෙරිකාවේ, වර්මොට් (Vermont) හි බර්ලින්ටන් (Burlington) පෙදෙස්හි මුලින්ම ජීවත් වුණෙමි. එය චැම්ප්ලේන් වැව අසල පිහිටි ලස්සන ස්ථානයක් විය. මම නගරයේ උතුරු පෙදෙසේ දිළිඳු අසල්වැසියන් සමග ජීවත් වුනෙමි. මගේ අසල්වැසි නිවසේ ළමයි හැම වෙලාවෙම බඩගින්නෙ තමයි හිටියෙ. හැමදාම පාසැල නිමවී ආවාම, ඔවුහු මගේ පුතා සමග සෙල්ලම් කරන්න මගේ නිවසට පැමිණෙති. ඔවුන්ට බඩගිනියි කියල ඔවුහු කියති. එවිට මම ඔවුන්ට චීන පාන් කැබැල්ලක් කන්නට දෙන්නෙමි. මට ඇමෙරිකාව දැකීම විශාල කම්පනයක් ගෙන දෙයි. ලෝකයේ ධනවත්ම රට එයයි. ඒත් කුසගින්නේ ඉන්න ජනතාව මෙහේ සිටිති. මම මෙහි වසර දෙකක් ජීවත් වුණෙමි.

ඉන් පසු මම බොස්ටන් නගරයට පැමිණ එහි සිටි පොහොසත් මිනිසුන් සමග ජීවත් වන්නට පටන් ගතිමි. එක දවසක් මගේ නිවාස හිමිය මගෙන් ඇහුව, ඇමෙරිකාව ගැන ඔබට හිතෙන්නෙ මොකද්ද? මට කිසිම හැඟීමක් නැති බව ඔහුට කී විට මගේ අදහසින් ඔහු කළබල වුණි. ඊට හේතුව ඔහු මගෙන් විමසුවා; ‘‘චීනයේ ඉන්න විට අපි හරි දුප්පත්, එත් අපිට නිවාස නැති මිනිස්සු හිටියේ නැහැ. සමාජවාදය යටතේ හැම කෙනෙකුටම රැකියාවක් ලැබුණා. හැම කෙනෙකුටම නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය පහසුකම් තිබුණා. නමුත් ලෝකයේ පොහොසත්ම රටේ මේව නැහැ.’’ මම කීවෙමි. මගේ නිවාස හිමිය හිතුවෙ මගේ අදහස් වල (දර්ශනයේ)ගැටලූවක් ඇති බවයි.

1949 දී චීන විප්ලවය සාර්ථක වූ විට කොමියුනිස්ට් නිළධාරීන් සිතුවේ විප්ලවය පිළිබඳ කටයුතු කරල ඔවුන් අපහසුතාවයෙන් පසුවෙන බවයි. දැන් විප්ලවය සාර්ථකයි. දැන් ඔවුන්ගේ ජීවිත සතුටින් ගත කිරීමට කාලයයි. ඔවුහු ඔවුන්ගේ ළමයි සඳහා විශේෂ පාසැල් හදල තිබුණ. චීනයේ සමාජවාදය ගොඩ නැගුවත් චීනයේ පංති ස්වභාවය ඉතා බලවත්. ඉහළ නිළධාරීන්හට විශේෂ වරප‍්‍රසාද තිබුණ.

සංස්කෘතික විප්ලවය යනු විප්ලවය තුළම පොදු ජනතාවට සැබෑ බලය ලබා දිමේ විප්ලවයයි. එමගින් චීනයේ නියම සමාජවාදය බිහි කිරීම ඇරඹීමයි. රුසියාවේ සිදු වුණු දෙය චීනයේ සිදු නොවීමට වග බලා ගැනීමේ ක‍්‍රියාවලියයි. ඒ කාලය තුළ සියලූ චීන නිළධාරීන්ට වැඩ කරන ජනතාව සමග එකට වැඩ කිරීමට සිදු වුණා. ශිෂ්‍යයින්, ගුරුවරුන්, මහාචාර්යවරුන් ශාරීරික ශ‍්‍රමය යොදා වැඩ කිරීම කළ යුතු වුණා. මම කර්මාන්තශාලාවේ කළමනාකාරයා වීමි. මට කර්මාන්තශාලාවේයේ අනෙක් අය වැඩ කර උපයනවාට වඩා වැඩි වැටුපක් ගෙව්වේ නැහැ. පාසැල් ගුරුවරුන්ට ගෙව්වේත්, වැඩ බිම් වල වැඩ කරන අයට ගෙවන පඩියමයි. සෙරෙප්පු සපත්තු නොපැළඳූ වෛද්‍යවරුන්ටද2 ගෙවන ලද්දේ එකම වැටුපකි. එහෙමයි සමාජවාදය යටතේ ක‍්‍රියාත්මක වුණේ. අපට එහෙම ක‍්‍රියාවලියක් තියේ නම් අපට දැන් තිබෙන ආකාරයේ මූළ්‍යමය දියවී යෑමක් (කඩා වැටීමක්) ඇති වන්නේ නැහැ.

පසුගිය සති කීපයේ ඇමෙරිකාවේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා. මගේ ශිෂ්‍යයො බොහොම දෙනෙක් ඒ ගැන කම්පනයට පත් වුණා. මේ අවස්ථාව ඉතා වැදගත් බව මම ඔවුන්ට කිවෙමි. අපි නොසැලකිලිමත් ලෙස දිගු කාලයක සිට පරිභෝජනය කරන්නෙමු. එය නැවතීමට දැන් අපට කාලයයි. අප මෙලෙස ජීවත් විය යුතු නැහැ. නිවාස නැතිව අප වේදනා විඳිය යුතු නැහැ. මේ සමාජයෙ අපට ඕනැ තරම් දේවල් තියෙනව. හැම කෙනෙකුටම යැපීමට ප‍්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් අප විසින් උපයා තිබේ. නමුත් එක් ප‍්‍රශ්නයක් ඇත. කෑදරකමින් පිරුණු සුළු පිරිසකට ඉන් විශාල කොටසක් අවශ්‍යව ඇත. එමනිසා අපි හැම මිනිසෙකුටම අගහිඟයක් නොමැති වෙනස් සමාජයක් ගොඩනැගිය යුත්තෙමු.

1949 දී පීඩනය සහ විදේශීය පාලනය ඉවතට වීසි කර දමමින් චීන විප්ලවය බලයට පත් විය. සභාපති මාඕ සේතුං ගේ නායකත්වය යටතේ චීන ජනතාව මුලූමනින්ම නව්‍ය වූ සමාජයක් ගොඩ නැගීම ඇරඹීය. නමුත් 1966 පංති අරගලයේදී, චීනය සමාජවාදය ගොඩ නැගීම කරා ගමන් කරාවිද, – නැවත ධනේශ්වර සමාජ ක‍්‍රමය ස්ථාපිත කරයිද යන මත දෙක අතිශයින් තියුණු විය. මෙය කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළතින්  – ජනතාවට කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කිරීමට නායකත්වය දුන් ඉහළ විප්ලවීය නායකත්වය සහ චීනය නැවත ධනේශ්වර මාවත වෙතට සහ පීඩනයට නැවත ඇද දැමීමේ ප‍්‍රතිපත්ති ඇති අයවලූන් අතර ප‍්‍රකාශ විය. මේ නිසා, ධනවාදී මග ගත්තන් බිඳ හෙළීමට සහ ඔවුන් සතුව රජයේ සහ සමාජය තුළ තිබූ පාලන බලයේ කොටස් නැවත අත් පත් කර ගැනීමට මාඕ විසින් ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය දියත් කැරිණි. නමුත් එයටත් වඩා මෙය ‘‘විප්ලවය තුළ විප්ලවයක්’’ විය. එය මුළු මහත් සමජයේම දිශානතිය කොමියුනිස්ට්වාදය දෙසට හැරවීය. මාඕ සේතුංගේ ස්ථාවරය අනුව, ධනවාදී මග ගත්තන් පහ කර දැමීම සහ පොදු ජනතාවගේ සමස්ත විඥණය, දර්ශනය සහ පුරුෂාර්ථ පරිවර්තනය කිරීම සංස්කෘතික විප්ලවයේ ඉලක්කය විය යුතුය.

ගම සහ නගරය අතර, මානසික සහ කායික ශ‍්‍රමය අතර, ගොවියන් සහ කම්කරුවන් අතර අසමානතාවයන් සහ වෙනස්කම් හීන කිරීමට සහ අවසානයේ ඒවා බැහැර කිරීමට අරගලය කිරීම ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයේ ඉතා වැදගත් කොටසක් විය. සමාජයේ සෑම කොටසකම පරිපාලනයට සහභාගිවීමට සහ ඍජුවම බලය සඳහා ජනතාව පුහුණු කිරීමට හැකිකම ලබා දීමට නව සහ නිර්මාණාත්මක ක‍්‍රමවේදයන් සොයා යෑමට සිදු කළ පුළුල් සමාජ-ව්‍යාප්ත අරගලයකි මෙය. ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය සංස්කෘතියේ, අධ්‍යාපනයේ, විද්‍යාවේ සහ වැඩ බිම්වල ‘‘සමාජවාදී නව්‍ය දෑ’’, විශ්මයට පත්කරමින් ඉදිරියට ගෙනගිය අතර ධනේශ්වර ප‍්‍රතිනිර්මාණය දස වසරකට නිහඬ කරවීය. නමුත් 1976 දී මාඕ මිය ගිය පසු ඩෙන්ග් ෂියාඕපිං (Deng Xiaoping) ප‍්‍රමුඛ කොමියුනිස්ට් පක්‍ෂයේ ඉහළ නායකයෝ ප‍්‍රතිවිප්ලවවාදී කුමන්ත‍්‍රණය දියත් කළහ. මාඕට සහය දැක්වූවන් සහ ඉතා ඉහළ තළයේ නායකයින් සිරගත කොට හෝ මරා දමමින් දස දහස් ගණනින් අත් අඩංගුවට ගැනීම හෝ මැඩලීම සිදු කළහ.

සටහන්

1 වැඩ ලකුණු: චීනයේ සමාජවාදී ගම්බද පෙදෙස්වල ගොවියන්ට, ආදායම බෙදී යාම සඳහන් කරන ක‍්‍රමයකි මෙය. සාමූහික ක‍්‍රමය තුළ මිනිසුන් ජීවත්වන විට සහ වැඩ කරන විට ඔවුන් විසින් සිදු කරනු ලබන වැඩ ප‍්‍රමාණයන්ට කිසියම් නිශ්චිත වැඩ ලකුණක් ප‍්‍රදානය කරන ලදි. මෙය ‘‘හැම එකෙකුගේම හැකියාව අනුව, හැම එකෙකුගේම ශ‍්‍රමයට’’ යන සමාජවාදී මූලධර්මයේ සුවිශේෂී භාවිතාවකි.

2 පාවහන් නොපැළඳූ වෛද්‍යවරු: ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයේදී නගරවල දියුණු කරන ලද සෞඛ්‍ය පහසුකම් පිටිසර බද පෙදෙස්වලටද එලෙසින්ම කේන්ද්‍රගත කිරීම හා පිහිටුවීම සිදු කරන ලදි. ‘‘පාවහන් නොපැළඳූ වෛද්‍යවරු’’ ව්‍යාපාරය මෙම විප්ලවීය පරිවර්තනයේ කොටසක් විය. තරුණ ගොවීන්ට සහ නගරබද තරුණයින්ට මූලික සෞඛ්‍ය කටයුතු සහ බොහොමයක් පොදු රෝගාබාධ ගැන සහ නිතර මුණ ගැසෙන මූලික අවශ්‍යතාවයන්ට අවැසිවන වෛද්‍ය කර්මයන් පුහුණු කොට පිටිසරබද පෙදෙස්වලට යවන ලදි. වෛද්‍යවරු ග‍්‍රාමීය පෙදෙස්වලට ගියහ – දෙනු ලබන ඕනෑම වේලාවක නාගරික වෛද්‍යවරු තිදෙනෙක් ගම්බදෙහි සිටියහ. 1949 සිට 1976 දක්වා මාඕගේ නායකත්වයෙන් යුත් පාලන කාලය තුළදී වසර 32 ක් ව පැවති ආයු අපේක්‍ෂාව වසර 65 දක්වා දෙගුණ විය.

ABar-11

            විප්ලවීය ඇමෙරිකන් කොමියුනිස්ට් පක්‍ෂයේ (RCP) නිළ පුවත්පත වන ‘‘විප්ලවය’’ (Revolution) හි  2009 අගෝස්තු 30 පළ වූ 174 වන කලාපයේ ලිපියකින් පරිවර්තනය කරන ලදි.

වැන්ග් හයි ජුංග් සමග සංවාද

වැන්ග් හයි ජුංග් සමග සංවාද

1970, දෙසැම්බර් 21

 

[මූලාශ‍්‍රය: මා ඕ සේතුං, ඒකාබද්ධ ප‍්‍රකාශන පර්යේෂණ සේවය (JPRS), එක්සත් ජනපදය, වාණිජ දෙපාර්තමේන්තුව, 52029 (1970, දෙසැම්බර් 21)]

 

Mao is Writing in Yenan

 

[මේ සංවාදය සභාපති මාඕ සහ වැන්ග් හයි-ජුංග් අතර ඇති වූවකි.]

 

හයි-ජුංග්: අපේ පාසලේ පංති අරගලය බොහොම තියුණුයි. මට ආරංචිවුණා ප‍්‍රතිගාමී සටන් පාඨයක් සොයාගෙන ඇති බව, අපේ ඉංග‍්‍රීසි දෙපාර්තමේනතුවේ කළු ලෑල්ලෙ ඉංග‍්‍රීසියෙන් ඒව කිහිපයක් ලියල තිබුණ.

 

සභාපතිතුමා: ලියල තිබුණෙ මොන වගේ ප‍්‍රතිගාමී සටන් පාඨයක් ද?

 

හයි-ජුංග්: මම එකක් ගැන පමණයි දන්නෙ. ඒ, ‘චියැංග් වැන් සුයි’.

 

සභාපතිතුමා: ඒක ඉංග‍්‍රීසියෙන් කොහොමද කියවන්නෙ?

 

හයි-ජුංග්: ‘චියැංග් දිගු කල් දිනේවා.’

 

සභාපතිතුමා: වෙන මොනවද ලියල තිබුණෙ?

 

හයි-ජුංග්: අනික් ඒව මම දන්නෙ නැහැ. මම දන්නෙ ඒක විතරයි.

 

සභාපතිතුමා: හොඳයි, මේ පුද්ගලයට තව තවත් ලියන්න දෙන්න හැම කෙනෙකුටම පේන්න ඒව එළිපිට ප‍්‍රදර්ශනය කරන්න ඉඩ හරින්න. ඔහු මිනිසුන් මරණවද?

 

හයි-ජුංග්: ඔහු මිනිසුන් මරනවද නැද්ද කියල මං දන්නෙ නෑ, අපි ඔහු කවුද කියල සොයා ගත්තොත්, ඔහුව පාසලෙන් අස්කරල ශ‍්‍රම ප‍්‍රතිශෝධණය සඳහා යැවිය යුතුයි.

 

සභාපතිතුමා: හොඳයි ඔහු මිනිසුන් නොමරණ තාක් කල්, අපි ඔහුව පාසලෙන් අස් කිරීම හෝ ශ‍්‍රම ප‍්‍රතිසංස්කරණය සඳහා යැවීම නොකළ යුතුයි. ඔහුට පාසැලේ හිඳ ඉගෙනීම කරන්නට ඉඩහරින්න. මිනිසුන් වන ඔබ රැස්වීමක් පවත්වා ඔහුගෙන් අහන්න චියැං කායි-ෂෙක් හොඳ වෙන්නෙ ඇයි, ඔහු කළ හොඳ දේවල් මොනවද. ඔබේ පැත්තෙන් ඔබ කියන්න චියැං කායි-ෂෙක් හොඳ නොවන්නේ මන්ද.

 

සභාපතිතුමා: ඔබේ පාසලේ මිනිසුන් කී දෙනෙක් ඉන්නවද?

 

හයි-ජුංග්: පීඨ සහ කාර්ය මණ්ඩල සාමාජිකයොත් එක්ක 3000 ක් විතර.

 

සභාපතිතුමා: 3000 ක් අතර ප‍්‍රති විල්වවාදීන් 7 ක් හෝ 8 ක් ඉන්න බව අපිට කියන්න පුළුවන්.

 

හයි-ජුංග්: එක් අයෙක් හිටියත් ඒක නරකයි. අපි කොහොමද 7කට හෝ 8 කට ඉවසන්නෙ.

 

සභාපතිතුමා: ඔබ එක් සටන් පාඨයක් නිසා මුළුමනින්ම කැළඹෙන්ට  ඕන නැහැ.

 

හයි-ජුංග්: ඇයි ප‍්‍රතිවිප්ලවවාදීන් හත් අට දෙනෙක් සිටින්නෙ?

 

සභාපතිතුමා: ඔවුන් ගොඩක් ඉන්නවනම් ඔබට විරෝධයක් ඇති කළ හැකියි. ගුරුවන් පවා ප‍්‍රතිවිරුද්ධව සිටිය හැකියි. එකම දේ ඔවුන්ව නොමැරිය යුතු යි.

 

හයි-ජුංග්: අපේ පාසල පංති මාවත අවබෝධ කරගෙන සිටින්නෙ. සිසුන්ගෙන් සියයට 70 ක් ම දිළිඳු සහ පහල-මධ්‍යම පන්තික ගොවියන්ගෙ දූ පුතුන්. අනෙක් අය කාඩර්වරුන්ගේ සහ වීරෝධාර නිළධාරින්ගෙ සහ මිනිසුන්ගෙ දූ දරුවන්.

 

සභාපතිතුමා: ඔබේ පන්තියේ කාඩර්වරුන්ගෙ දූ දරුවන් කොපමණ ප‍්‍රමාණයක් ඉන්නවද?

 

හයි-ජුංග්: මම හැරුණම දෙන්නෙක් ඉන්නව, අනෙක් අය කම්කරුවන්ගෙ සහ දිළිඳු සහ පහළ-මධ්‍යම පන්තික ගොවියන්ගෙ දූ පුතුන්. ඒගොල්ලො හොඳින් වැඩ කරනවා. මම ඒගොල්ලොන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා.

 

සභාපතිතුමා: ඔවුහු ඔබ සමග හොඳින් ඉන්නවද? ඔවුහු ඔබට කැමතිද?

 

හයි-ජුංග්: මම හිතනවා, අපේ සම්බන්ධතාවයන් හොඳයි. මම ඔවුන් සමග ආශ‍්‍රයෙන් ඒක ලබා ගන්නවා, ඔවුනුත් එහෙමයි.

 

සභාපතිතුමා: ඒක හොඳයි.

 

හයි-ජුංග්: නමුත්, කාඩර් කෙනෙක්ගෙ එක දරුවෙක් හොඳින් වැඩ කරන්නෙ නැහැ. පන්තියේදි ඔහු ගුරුවරුන්ගෙ පාඩම්වලට අවධානයෙන් ඇහුම්කන් දෙන්නෙ නැහැ, පන්තියෙන් පස්සෙ ඔහු ගෙදර වැඩ කරන්නෙත් නැහැ. ඔහු ප‍්‍රබන්ධ කියවන්න කැමතියි. සමහර වෙලාවට ඔහු නිදන කාමරයෙ නිදාගන්නවා, සමහර වෙලාවට සෙනසුරාදා සන්ධ්‍යාවේ රැස්වීමට ඔහු සහභාගි වෙන්නෙ නැහැ. ඔහු ඉරිදාට වෙලාවට පාසල් එන්නෙ නැහැ. සමහර වෙලාවට ඉරිදා අපේ පන්තිය සහ අංශය රැස්වීමක් පවත්වනවා, ඔහු පේන්ට නැහැ. අපි හැම කෙනෙකුටම ඔහු ගැන හොඳ හැඟීමක් නෙවෙයි තිබෙන්නෙ.

 

සභාපතිතුමා: ඔබේ ගුරුවරු ළමයින්ට ඉඩ හරිනවද පන්තියේදි නිදාගන්න සහ ප‍්‍රබන්ධ කියවන්න.

 

අපි ළමයින්ට පන්තියේදි ප‍්‍රබන්ධ කියවන්න සහ ටිකක් නිදාගන්න ඉඩ දෙන්න  ඕන, අපි ඔවුන්ගෙ සෞඛ්‍ය තත්වය හොඳින් බලාකියා ගත යුතුයි. ගුරුවරු ළමයින්ට අඩුවෙන් දේශන දීල වැඩියෙන් කියවන්ට ඉඩ හරින්ට  ඕන. මම විශ්වාස කරනවා ඔබ සඳහන් කරන ලද ශිෂ්‍යා සෙනසුරාදා රැස්වීමට නොපැමිණ සිටීමට සහ ඉරිදා උදේ පාසැලට වෙලාවට නොපැමිණීමට ධෛර්යක් තිබෙන නිසා ඔහුට අනාගතයේ දී හොඳ දක්‍ෂතාවයක් තියේවි. ඔබ පාසැලට ගිය පසු, ඔහුට කියන්න, උදෑසන අට ට නවය ට පාසැලට පැමිණීමත් වේලාසන වැඩි බව, එවිට ඔහු එකොලහ හෝ ෙදාළහ පමණ තෙක් ප‍්‍රමාද වේවි. ඉරිදා රාත‍්‍රියට රැස්වීමක් කැඳවිය යුතු වීමේ වරද කාගෙද?

 

හයි-ජුංග්: මම සාමාන්‍ය පාසැලක අධ්‍යයනය කරන විට, සාමාන්‍යයෙන් අපි ඉරිදා රාත‍්‍රියේ රැස්වීම් තිබ්බෙ නැහැ. රෑට අපිට කැමති දෙයක් කරන්න ඉඩ දුන්න. එක් දවසක් ලීගයේ ශාඛා මූලස්ථානයේ සහෝදරවරු කිහිප දෙනෙක් (එවිට මමත් ශාඛා මූලස්ථානයේ සාමාජිකයෙක්) ඉරිදා රාත‍්‍රියේ ජීවිතය සංවිධානය කරන්නට කථා වුණත් හුඟ දෙනෙක් ඒ අදහස ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔවුන්ගෙන් සමහර දෙනෙකු දේශපාලන උපදේශකවරයට පවා ඒ ගැන කිව්වා ඉරිදා නිවාඩු දිනයක් නිසා රාත‍්‍රියේ රැස්වීමක් කැඳෙවුවොත්, අපට නිවෙස් වලට යෑම පවා අපහසු බව. අවසානයේදී දේශපාලන උපදේශකවරයා ඔවුන්ගේ මතයට ගරු කරල රැස්වීමේ දිනය වෙනස් කරන ලෙස අපිට කිවුව.

 

සභාපතිතුමා: මේ දේශපාලන උපදේශකවරයා නිවැරදි දේ කර තිබෙන්නෙ.

 

හයි-ජුංග්: නමුත් අපේ පාසලේ මුළු ඉරිදා රාත‍්‍රියම රැස්වීම් පවත්වනවා – පන්ති රැස්වීම්, ශාඛා මූලස්ථාන කමිටු රැස්වීම් හෝ අධ්‍යයන කණ්ඩායම් වලට පක්‍ෂයේ පාඩම් පවත්වන රැස්වීම්. මම ගණන් බලපු විදියට, මේ අර්ධ වර්ෂය පටන් ගත්තායින් පසු, රැස්වීම් නොපැවැත්වූ එක් ඉරිදා දිනයක් හෝ ඉරිදා රාත‍්‍රියක් නැහැ.

 

සභාපතිතුමා: ඔබ පාසැලට ආපසු ගිය පසු, ඔබ කැරලි ගැසීමට පෙරමුණ ගත යුතුයි. ඉරිදා දින පාසැලට හෝ කිසිදු රැස්වීමකට පැමිණෙන්න එපා.

 

හයි-ජුංග්: නමුත් මට අභියෝග කරන්න බැහැ. මේ පාසැල් පද්ධතිය. සියළුම ශිෂ්‍යයන් වෙලාවට පාසැලට පැමිණීම අවශ්‍ය කරනවා. මම එහෙම නොකළොත් මිනිස්සු කියාවි මම පාසැල් පද්ධතිය කඩ කරන බව.

 

සභාපතිතුමා: පාසැල් පද්ධතිය ගැන තැකීමක් කරන්න එපා. පාසැල් නොයෑම පමණයි. කිව යුත්තේ ඔබට පාසැල් පද්ධතිය කඩා දමන්ට අවශ්‍ය බවයි.

 

හයි-ජුංග්: මට ඒක කරන්න බැහැ. මම එහෙම කළොත්, මාව විවේචනයට ලක් වේවි.

 

සභාපතිතුමා: මම හිතන්නෙ නැහැ ඔබ අනාගතයේදී හුඟක් දක්‍ෂ වෙයි කියල. ඔබ පාසැල් පද්ධතිය කඩ කිරීමට, විවේචනයන්ට, නරක වාර්තාවන් ට, පාසැලෙන් පිටුවහල් කිරීමට, පක්‍ෂ සාමාජිකත්වය අහිමි වීමට බයයි. මෙතරම් දේවලට ඔබ බය වෙන්නෙ ඇයි? නරකම දේ ඔබ පාසැලෙන් නෙරපා දැමීම. පාසැල ළමයින්ට කැරලි ගැසීමට ඉඩ හළ යුතු යි. ඔබ පාසැලට ගිය ගමන් කැරලි ගසන්න.

 

හයි-ජුංග්: මිනිස්සු එතකොට කියාවි මම සභාපති මාඕගෙ නෑයෙක් වෙලත්, ඔහුගේ උපදෙස් පිළිපදින්න බැරිව පාසැල් පද්ධතිය උල්ලංඝණය කරන්න මුල් තැන ගත්ත බව. ඒගොල්ලො මට උද්ධච්ඡ සහ ආත්ම තෘප්තියක් නැති, සංවිධානමය සහ විනයගරුක බවක් නැති කෙනෙක් ලෙස ෙදා්ෂාරෝපනය කරාවි.

 

සභාපතිතුමා: බලන්න ඔබ දෙස! ඔබ  උද්ධච්ඡ සහ ආත්ම තෘප්තියක් නැති, සංවිධානමය සහ විනයගරුක බවක් නැති කෙනෙක් ලෙස කරනු ලබන විවේචනයට බයයි. ඔබ බය වෙන්නෙ ඇයි? ඔබට කියන්න පුළුවන් ඔබ සභාපති මාඕ ගෙ නෑයෙක් නිසා, කැරලි ගැසීමට ඔහුගෙන් උපදෙස් ගත් බව. මම හිතනව ඔබ විසින් සඳහන් කරන ලද ශිෂ්‍යා පාසැල් පද්ධතිය උල්ලංඝණය කිරීමේ දි ඔබට වඩා දක්‍ෂ වනු ඇති බව. මම හිතනව ඔබ වැනි අය පාරභෞතිකවාදියි.

 

එක් වතාවක දී සභාපති මාඕ අධ්‍යයනය කිරීමේ ප‍්‍රශ්න ගැන සාකච්ඡා කළහ.

 

හයි-ජුංග්: මිනිස්සු දැන් පැරණි කෘති කියවීමට විරුද්ධයි. නමුත් අපේ පන්තියේ සිටින කාඩර්වරයෙක්ගේ පුතෙක් මුළු කාලයම ඒව කියවන්න කැප කරනවා. අපි හැම කෙනෙක්ම ඉංග‍්‍රීසි කථා කිරීමේ පුහුණුවෙහි නිරතවෙනවා, නමුත් ඔහු හුන්ග් ලෝ මෙන්ග් (රතු කාමරයේ සිහිනය) කියවනවා. අපි හැම කෙනෙක් ම ඔහුගේ මේ නව කථාව කියවීම විවේචනය කරනවා.

 

සභාපතිතුමා: ඔබ කවදහරි දවසක හුන්ග් ලෝ මෙන්ග් කියවල තියෙනව ද?

 

හයි-ජුංග්: ඔව්, මං කියවල තියෙනවා.

 

සභාපතිතුමා: මේ නවකථාවේ කුමන චරිතයට ද ඔබ කැමති?

 

හයි-ජුංග්: මොකටවත් නෑ.

 

සභාපතිතුමා: හුන්ග් ලෝ මෙන්ග් කියවන්න වටිනා පොතක්. ඒක හොඳ පොතක්. අපි එය කථාවක් ලෙස නොව ඉතිහාසය ලෙස කියවිය යුතුයි. ඒක ඓතිහාසික නව කථාවක්. ඓතිහාසික ප‍්‍රබන්ධයේදී එහි භාෂාව විශිෂ්ඨයි. කතුවරයා, ට්’සා ඕ හුසේ-චින්, ෆෙන්ග් ට්සූ මනරම් ලෙස නිරූපනය කර තිබේ. ෆෙන්ග් ට්සූ ගේ චරිත ලක්‍ෂණ විශිෂ්ඨයි. ඔබට ඒ දේ කරන්න අවශ්‍ය නැද්ද? ඔබ හුන්ග් ලෝ මෙන්ග් කියවන්නේ නැත්නම්, ඔබ කොහොමද රදළ සමාජය ගැන දැනගන්නෙ? ඔබ හුන්ග් ලෝ මෙන්ග් කියවන්නට පෙර, මේ කියමන් හතර ගැන දැන ගත යුතුයි: ‘‘චියාස් කියන්නෙ බොරුවක් නෙවෙයි. ඔවුහු ශාලාවක් හදන්න සුදු ජේඞ් සහ අශ්වයෙක් හදන්න රත‍්‍රන් භාවිතා කරති.’’ [මේ චියාස් පවුලට අයත් වූවකි.] ‘‘ෆැන්ග් මාලිගය ලී 300 ක් පුරා පැතිරී තිබේ, නමුත් ඔවුහු ෂිහ් කෙනෙකුට නවාතැන් නොදෙති.’’ [මේ ෂිහ් පවුලට අයත් වූවකි.] ‘‘පෙරදිග සාගරයට සුදු ජේඞ් ඇඳක අඩුවකි, නමුත් මකර රජු චි’දෙන් ලින්ග් හි රජුට ඔහුව හමුවන්නට ඇරයුම් කරයි.’’ [මෙය ෆෙන්ග් ට්සූ ගේ පවුලට හෝ වැන්ග් පවුලට අයත් වූවකි.] ‘‘මේ අවුරුද්දේ මොන තරම් විශාල හිම කුට්ටි ද  මුතු ඇට පස් මෙන් නොවටින සේම රත‍්‍රන් යකඩ මෙනි!’’ [මෙය හ්සුඒහ් පා ඕ-චි ගේ පවුලට අයත් වූවකි.] හුන්ග් ලෝ මෙන්ග් වල සාරාංශය මේ කියමන් හතරයි.

 

සභාපතිතුමා: ඔබ ටූ ෆූ ගේ ‘‘උතුරුදිග ගමන’’ දිග කාව්‍ය කියවා තිබේද?

 

හයි-ජුංග්: නැහැ, ඒක ටැ’න්ග් ගේ කවි තුන්සියයේ [ස්සූ සැන් පායි ෂෝ] නැහැ.

 

සභාපතිතුමා: ඒක ටැ’න්ග් ගේ ස්සූ පි ට්සායි හි [ඒක ටැ’න්ග් ගේ වෙනත් කාව්‍ය සංග‍්‍රහයක වූ කාව්‍ය පන්තියකි.] තිබෙනවා. (පොත ගෙනත් තැබූ සභාපති මාඕ, එම කාව්‍ය පෙරලා එය නැවත නැවත කියවන ලෙස මට කීහ)

 

හයි-ජුංග්: මේ පොත කියවද්දී මොන ගැටළුවලට ද මා අවධානය යොමු කළ යුත්තේ? මේ ආභාෂයට විරුද්ධව මා ගත යුතු පූර්ව සූදානම කුමක්ද?

 

සභාපතිතුමා: ඔබ හැම විටම පාරභෞතිකවාදියි. ඇයි ඔබ පෙර සූදානමක් ගත යුත්තේ? නැහැ, ඔබ සමහර ආභාෂයන් ලබා ගත යුතුයි. ඔබ එහි ගැඹුරටම කිමිදී එයින් නික්මෙන්න. එය නැවත නැවත කියවන්න නමුත් මතක තබා ගන්ට අවශ්‍ය නැහැ.

 

සභාපතිතුමා: ඔබට ශුද්ධ බයිබලය හෝ බෞද්ධ සූත‍්‍ර අධ්‍යයනය කරන්න අවශ්‍ය වී තිබේද

 

හයි-ජුංග්: ඇයි මම ඒව කියවන්නෙ?

 

සභාපතිතුමා: ඔබ බෞද්ධ සූත‍්‍ර හෝ ශුද්ධ බයිබලය කියවා නැත්නම් ජාත්‍යන්තර කටයුතු වලදී ඔබ කොහොමද පරිවර්තන කටයුතු සිදු කරන්නෙ?

 

ඔබ ලියා ඕ චි [අපූර්ව චිත‍්‍රාගාරය] කියවා තිබෙනවද?

 

හයි-ජුංග්: නැහැ.

 

සභාපතිතුමා: ලියා ඕ චි කියවන්න වටිනවා. එය මනාව ලියැවුණු ලද්දක්. ලියා ඕ චි හි හිවල් ආත්ම කරුණාවන්තයි. ඔවුහු ස්වේචඡාවෙන් මිනිස් වර්ගයාට උදව් කරනවා.

 

සභාපතිතුමා: ඔබ කොහොමද ‘චිහ් ෂිහ් ෆෙන් ට්සේ’ [බුද්ධිමතා] ඉංග‍්‍රීසියෙන් කියන්නෙ?

 

හයි-ජුංග්: මම දන්නෙ නැහැ.

 

සභාපතිතුමා: ඔබ හය මසක් ඉංග‍්‍රීසි අධ්‍යයනය කොට තිබේ. ඔබ චිහ් ෂිහ් ෆෙන් ට්සේ [බුද්ධිමතා] කෙනෙක් ඒත් ඔබ ඒක ඉංග‍්‍රීසියෙන් කියන්න දන්නෙ නැහැ.

 

හයි-ජුංග්: මං ඒක චීන-ඉංග‍්‍රීසි ශබ්දකෝෂයෙන් පෙන්වන්නම්.

 

සභාපතිතුමා: බලන්න. එවැනි වැකියක් තිබෙනවද?

 

හයි-ජුංග්: (ශබ්දකෝෂයේ පිටු පෙරලීමෙන් පසු) බොහොම නරකයි. මේ චීන ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ එවැනි වැකියක් නැහැ. එහි චිහ් ෂිහ් යන වැකිය පමණයි තිබෙන්නෙ, චිහ් ෂිහ් ෆෙන් ට්සේ නැහැ.

 

සභාපතිතුමා: කෝ මට බලන්න දෙන්න. (මම ශබ්දකෝෂය සභාපති මා ඕට ලබා දුනිමි.) ඔබට චිහ් ෂිහ් හමුවුනා, නමුත් චිහ් ෂිහ් ෆෙන් ට්සේ නැහැ. මේ ශබ්දකෝෂයෙන් පලක් නැහැ. ඒකෙ හුඟක් වචන වල කෙටි ආකාරයයි පවතින්නෙ. ඔබ නැවත පාසැල් ගිය පසු, ඔවුන්ට කියන්න වඩා හොඳ චීන-ඉංග‍්‍රීසි ශබ්දකෝෂයක් සම්පාදනය කරන්නට. එහි සියළුම දේශපාලන යෙදුම් සහ එම වචන භාවිතා කරන අයුරු වාක්‍ය මගින් පහදා තිබිය යුතුයි.

 

හයි-ජුංග්: අපේ පාසල කොහොමද ශබ්දකෝෂයක් සම්පාදනය කරන්නෙ? අපිට ඒක කරන්න පුද්ගලයෙක් හෝ වෙලාවක් නැහැ.

 

සභාපතිතුමා: ඔබේ පාසැලේ හුඟක් ශිෂ්‍යයින් සහ ගුරුවරුන් ඉන්නවා. ඇයි ඔබ ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට ඔවුන්ට ඇති හැකියාව ගැන සැක කරන්නෙ? ඔබේ පාසැලෙන් මේ ශබ්දකෝෂය සම්පාදනය කරන්නට ඉඩදෙන්න.

 

හයි-ජුංග්: හොඳයි මම ආපසු පාසැලට ගිය පසු ඔබේ ඉල්ලීම අපේ නායකත්වයට දැනුම් දෙන්නම්. මම හිතනවා අපිට මේ වැඬේ කළ හැකියි. 

 

මා ඕ සේතුං තෝරා ගත් කෘති 9, වැන්ග් හයි ජුංග් සමග සංවාද,

1970, දෙසැම්බර් 21

 

සටහන්

[වැන්ග් හයි-ජුංග් සභාපති මාඕගේ ලේලි කෙනෙකි.]

Translated by Sri Kantha