Blog Archives

මගේ හදවත වගේම මනසත් තාම තියෙන්නේ එහේ

මගේ හදවත වගේම මනසත් තාම තියෙන්නේ එහේ

]

N ightmarch කෘතියේ මාවෝ ගරිල්ලා වාදීන් හා කෝලි හා ගියැ න් ජි වගේ හැබෑ ජීවිතයේ ඉන්න පුද්ගලයන ්ගේ ඇ වතුම්, පැවතුම් ගැන වගේම ඉන්දීය සමාජ‍ය්‍ෙ පවතින විෂමතා ගැනත් සාකච්ඡාවට බඳුන්කර තිබෙනවා. මේ කෘතිය පරිශීලනය කරන පාඨකයෙකුට කිසිම මොහොතක මෙය මතක සටහන් පෙළක් හෝ පර්යේෂ ණය ක් බව හැඟෙන්නේ නැහැ. ඔබ පර්යේෂකයෙකු මෙන්ම ලේඛක යෙකු විදියට මේ කාර්යය ඉටුකළේ කොහොමද ?
බොහොම ස්තුතියි මගේ ලේඛන ශෛලිය අගය කළාට. මට හමුවුණු පුද්ගලයෝ වගේම ඔවුන්ගෙන් මගේ ජීවිතයට ලැබුණු පිටුබලය විශ්වවිද්‍යාලයට පමණක් සීමාවී තිබෙනවා දකින්න වුවමනා වුණේ නැහැ.
පර්යේෂණයේදී කළ විශ්ලේෂණය පාඨකයන්ට එලෙසම ඉදිරිපත් කරනවා වෙනුවට කියවන්න පහසු විදියට ඉදිරිපත් කිරීම වැදගත් බව මට වැටහුණා.
මගේ විෂයානුබද්ධ දැනුම කලාවත් සමග බද්ධ කරලා ඉදිරිපත් කරන්න වගේම එය සෞන්දර්යවාදී දෘෂ්ටියකින් යුතුව ඉදිරිපත් කළොත් බොහෝ දෙනෙකුට මෙය කියවන්න හැකිවේයැයි විශ්වාස කළා. ඉතිං, ගරිල්ලා බලකායත් සමග දින හතක් පුරාවට කිලෝමීටර් 250ක දුරක්, විදුලි පන්දමක එළියක් වත් නැතිව පාගමනින් ගිහිං මං කළ පර්යේෂණය Nightmarch කෘතිය මගින් ජනගත කළා. මේ ගමන අතරමඟදී හමුවුණු මූලික චරිත කීපයක් ඇසුරින් නැක්සලයිට් ව්‍යාපාරයේ අතීතය හා අනාගතය ගැන විවිධ දෘෂ්ටීන් හෙළිදරව් කර තිබෙනවා.
මගේ පර්යේෂණයට ගැඹුරු මානුෂීයත්වයක් මේ ගමන වගේම චරිත හරහා ද ගෙනඑනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම විවිධ සමාජ පසුබිම්වලින් යුතු පාඨකයන් ද මේ සංවාදය සමග සම්බන්ධ වෙනු ඇති බවත් නොඉවසිල්ලෙන් ඔවුන් කෘතිය කියවාවි යන්නත් විශ්වාස කරනවා.
කාලයක් මං සමග ජීවත්වුණු පිරිස ත්‍රස්තවාදීන් නමින් හැඳින්වූ නිසාම පුළුල් පාඨක අවධානයක් මේ කෘතියට හිමිවිය යුතු බව මගේ විශ්වාසයයි. ඉන්දියාව මුහුණදුන්නු දැවැන්තම අභ්‍යන්තර ආරක්ෂක තර්ජනය හා මේ කලාපය ආශ්‍රිතව සිද්ධ වෙන දේවල් පිටත ලෝකයට වාර්තාවුණේ වැරදි තොරතුරු මුසුකරමිනුයි.
මේ කැරලිකරුවන් වටා තවත් මිනිස්සු එකතුවෙන්න හේතු වුණේ ඔවුන් ඊට බලෙන් සම්බන්ධ කරගත්ත නිසා බවත්, නැත්නම් ඔවුන් මොනයම් හෝ වාසියක් ලැබූ නිසා බවත්, ත්‍රස්තවාදීන් මේ මිනිස්සුන්ගේ දුක්, කම්කටොළු හඳුනාගත් නිසා බවත් පෙනෙන්න තිබෙනවා. නමුත්, මගේ අධ්‍යයනයට අනුව ඇත්ත තත්ත්වය ඊට වඩා අතිශය සංකීර්ණයි. මේ වෙනස් කතාබහ වගේම එකිනෙකට පරස්පර අදහස් Nightmarch කෘතියේදී අවධානයට ලක්කරන්න වුවමනා වුණා.

Nightmarch  කෘතියේ දක්වා තිබෙන අන්දමට ගමන අතරතුරදී ඔබේ ආරක්ෂකයා විදියට කෝලි කටයුතු කළා. ඔහු ඒ වෙද්දි අවුරුදු 16ක දරුවෙක්. මේ ගැන දැනගන්න කැමතියි. ලංකාවේ පැවති සිවිල් යුද සමයේදී එල්ටීටීඊය ළමා සොල්දාදුවන් යොදාගත්තා. බොහෝදුරට සිද්ධ වුණේ මේ අරගලයට ළමයින්ව බලෙන් ඈඳාගැනීමයි. යම් හෙයකින් ළමා සොල්දාදුවන් රජයේ ආරක්ෂක හමුදා අතට පත්වුණෙ ාත් බෙල්ලේ එල්ලා තියෙන සයනයිඞ් කරල් කාලා සියදිවි නසා ගන්න සිද්ධවෙනවා. දරුවන් යුද්ධයට දායක කරගැනීම මනු ෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ද වෙනවා. ඔබ කෝලි වැනි දරුවෙකු දකින්නේ කොහොමද?
ලංකාවේ ළමා සොල්දාදුවෝ හා ඉන්දීය මාවෝවාදීන්ගේ තත්ත්වය තරමක් වෙනස්. නැක්සලයිට් ව්‍යාපාරයට කිසිම ළමයෙක් බලෙන් සම්බන්ධ කරගත් කිසිදු අවස්ථාවක් මා දුටුවේ නැහැ. ඇත්තටම, කෝලි වගේ තරුණයෙකුගේ කතාව ගත්තොත් ඔහු ගරිල්ලා කණ්ඩායමට කැමැත්තෙන්ම එක්වුණා, නමුත්, පවුලේ අය ගෙනයන තේ කඬේ වැඩ කරන්න කවුරුත් නැති වෙන නිසා කෝලිගේ තාත්තා මේ තීරණයට අකමැති වෙන බව දන්න නැක්සලයිට් කණ්ඩායමේ කලාපීය අණදෙන නිලධාරියා ඔහුව බඳවාගන්න කැමති වෙන්නේ නැහැ. ආදිවාසී තරුණයන් බොහෝ දෙනෙකු කරනවා වගේ කෝලිගේ නැක්සලයිට් කණ්ඩායමත් එක්ක අවුරුදු කීපයක් ගතකරන්නේ ආදිවාසීන්ට තවත් නිවහනක් හමුවුණා වැනි හැඟීමකිනුයි. ඔහුගේ මස්සිනා කෙනෙකු මේ වෙනකොටත් ගරිල්ලා කණ්ඩායමට එකතු වෙලා ඉවරයි, ඒ වාගේම කෝලිගේ සොහොයුරිය, බාලවියේ ඉන්න මස්සිනාත් මේ කණ්ඩායම එක්ක එකතුවෙලා.
තරුණයන්ට ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔවුන් කැරලිකරුවන්ගේ රැකවරණය සොයායනවා. ගරිල්ලා හමුදාවට සම්බන්ධ වෙලා තරුණ තරුණියෝ බොහෝ දෙනෙකු ලියන්න – කියවන්න ඉගෙනගන්නවා, ජංගම දූරකථන, ගිනිඅවි වගේ දේවල් හැසිරවීමේ තාක්ෂණය ඉගෙනගන්නෙත් මෙතැනදීයි, කෙටියෙන්ම කිව්වොත් ගමෙන් එපිට ලෝකයක් තියෙන බව ඔවුන් දැනගන්නේත් මෙතැනදීයි. මැර කල්ලි ආදිවාසින්ගේ ගෙවල් පුච්චලා දැමූවිට විශේෂයෙන්ම, චත්තිගර්වල තියෙන දණ්දාකරණයා වැනි සමහර පළාත්වල ඉන්න පිරිස් හිරගෙවල් වගේ තියෙන පුරුත්ථාපන කඳවුරු හෝ ගරිල්ලා භටයන් වෙත යනවාද කියලා කිසිම විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. කොහොම වුණත්, මං දන්න තරමින් නම් නැක්සලයිට් භටයන් කිසිම වෙලාවක බලහත්කාරයෙන් මිනිස්සුන්ව බඳවාගන්නේ නැහැ.

ලාංකිකයන් විදියට අපි මීට කලින් සහභාගිත්ව නිරීක්ෂණ ක්‍රමය අළලා රචිත ජනප්‍රිය කෘතියක් ලෙස දුටුවේ මහාචාර්ය නන්දසේන රත්නපාල මෙරට යාචක ප්‍රජාව ඇසුරින් කළ පර්යේෂණය අළලා රචනා කළ ‘ශ්‍රී ලංකාවේ යාචකයා’ කෘතියෙන්. ඔහුත් ඔබ වගේම අදාළ ප්‍රජාව සමග කාලයක් ජීවත්  වුණා.
ඔබ ආදිවාසී ප්‍රජාව සමග වසර හතර හමාරක කාලයක් ජීවත් වුණා වගේම නැක්සලයිට් ගරිල්ලා කණ්ඩායම සමග ඉන්දියාවේ එක කෙළවරක ඉඳන් තවත් අන්තයකට කිලෝමීටර 250ක් පාගමනින් ගියා. ඔබේ වෘත්තීය ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් මේ අත්දැකීම බලපෑවේ කොහොමද?

මානවවිද්‍යාඥයෙකු බවට පත්වුණාම අනෙක් මිනිස්සුන්ගේ ජීවිතවල කොටසක් බවට පත්වෙනවා, අලු‍ත් පවුලක්, ගෙවල් දොරවල් වගේම කෙටියෙන්ම කිව්වොත් අලු‍ත් ජීවිතයක් හිමිවෙනවා. ආපහු අපේ ඇත්ත ගෙවල් දොරවල්වලට ගියාම එතැනට උචිත අයෙකු බවට පත්වීම අතිශය අසීරු වෙනවා.
මගේ හදවත වගේම මනසත් තාමත් තියෙන්නේ ජාකන්ද්වල බව පර්යේෂණයෙන් පස්සේ ආපහු ලන්ඩන්වලට ගියාම දැනෙන්න ගත්තා. බයිසිකල් පදිද්දි, උයද්දි පිහද්දි නැත්නම් හීන දකිද්දි පවා කෝලිගේ මතකය පෙනෙන්න ගත්තා, නැත්නම් සෝම්වරීට කතාකරන්න ගත්තා, විකාස් ගැන හිතෙන්න ගත්තා.
ප්‍රශාන්ති මරාදැමූ බව, ගියැන්ජි අත්අඩංගුවට ගත්තු බවත්, විකාස් වෙනම කල්ලියක් පටන්ගත් බවත් ප්‍රවෘත්ති විදියට පළවෙලා තිබුණා. ඒත් මීට විරුද්ධ කැරලි ගැහීම් ආරම්භ වූ නිසා කාට හරි කෙනෙක්ට කතාකරලා කෙලින්ම මේ ගැන දැනගන්න නොහැකි වුණා. මොවුන්ට සිද්ධවුණේ කුමක්දැයි දැනගත්තාම මට දරාගන්න බැරිවුණා.
පවුලේ අය මාව හොඳින් තේරුම්ගෙන මං ගැන අවධානයෙන් හිටපු නිසා වාසනාවන්ත වුණා. පවුලේ බොහෝ දෙනෙකු ජාකන්ද්වලදී මං ජීවත්වුණු විදිය දැකලා තිබුණු නිසා මගේ තත්ත්වය තේරුම්ගන්න හැකිවුණා. මගේ සැමියා පවා ජාකන්ද්වලට ඇවිත් මගේ අත්දැකීම් අහලා දැකලා තිබුණා. ඔහුගෙන් පවා හොඳ සහයෝගයක් හිමිවුණා.
මං තවත් අතකින් වාසනාවන්තයි, සහභාගිත්ව නිරීක්ෂණයේ යෙදී තිබෙන විද්වතුන් රාශියක් මැද රැකියාවේ නියැලීමත් මා ලැබූ භාග්‍යයක් වුණා, අනෙක් මිනිස්සුන්ගේ ජීවිත ගැන පුළුල් දැක්මක් තිබෙන අය වගේම ඉන්දියාවේ ඉඳන් ලන්ඩන්වලට ආවාට පස්සේ මං මුහුණදුන්නු අන්දමේ දුරස්ථභාවී අත්දැකීම්ද ඔවුන් යම් තරමක් දුරට අත්දැක තිබුණා. මා ඉන්දියාවේදී ලැබූ අත්දැකීම් වගේම මාවත් තේරුම් අරගෙන පර්යේෂණයෙන් පස්සේ හිටපු මාව ඔවුන්ට තේරුම්ගන්න පුළුවන් වුණා.
ආපහු ලන්ඩන් ජීවිතේට හුරුපුරුදු වෙන්න මා විසින්ම තෝරාගත්ත විසඳුම වුණේ ශාස්ත්‍රීය ලේඛනයන්ට යොමුවීමයි, එකක් පසුපස එකක් විදියට විශ්ලේෂණ කළා, එක පත්‍රිකාවකට පස්සේ තවත් පත්‍රිකාවක් ලිව්වා, මේ අතරතුර ඉන්දියාවේ මහ කැළෑ ඇතුළේ සිද්ධවෙන්නේ මොකක්ද කියලත් හිතන්න ගත්තා.

ඔබේ පොත කියවද්දි මොනම මොහොතකවත් මෙය පර්යේෂණයක් බව මට දැනුණේ නැහැ. ඵෙතිහාසික තොරතුරු, ජීවන අත්දැකීම් වගේම ගරිල්ලා පිරිස්වල මානුෂීය ගුණාංග ගැබ්වූ කතා එකිනෙක ගළපාලමින් පොතේ රිද්මය ද නොකඩා කෘතිය මගින් ගෙනහැර දැක්වූවේ කොහොමද ?
මේ ඇගයීම්වලට ස්තුතියි. බොහෝ පර්යේෂණයන් ලියැවෙන්නේ කිසිම රසවත් බවක් නැති ශාස්ත්‍රීය බසකින් බව මං පිළිගන්නවා, ඒ වගේම මෙවැනි සටහන්වලදී අන් කිසිම දෙයකට වඩා පවතින කරුණු ව්‍යාකුල කර ඉදිරිපත් කිරීම සිද්ධවෙනවා. මං අත්විඳි ජීවිතය ගැන ශාස්ත්‍රීය කාරණාවලින් ඔබ්බට ගිහිං රචනා කරද්දී දැඩි අධිෂ්ඨානයක් මතුවුණා.
ශාස්ත්‍රීය කරුණු සරලව පොතක් විදියට ඉදිරිපත් කරලා ඒ හරහා හැමදෙනාටම මේ මානවවිද්‍යා කරුණු ගැන උනන්දුවක් ඇතිකරන්න උත්සාහ ගත් අවස්ථා ගණනාවක් තිබෙනවා. පිලිප් බෝර්ජස්, සිඞ්නි මින්ට්ස්, රූත් බෙහාර් හා ලු‍වී ස්ට්‍රවුස් වැන්නන්ගේ කෘතීන් ඒ අතර ප්‍රමුඛයි. ශාස්ත්‍රීය ලේඛනයේදී මා උගත් සියලු‍ම දේවල් නැවත අලු‍තෙන් සකස් කරන්න ගත්තා. සුවිශේෂ පර්යේෂණවල නියැලෙමින් නැත්නම් අත්දැකීම් පදනම් කරගනිමින් ලියැවුණු එමිල් සෝලාගේ Germinal නැත්නම් ප්‍රීමෝ ලෙවිගේ Periodic Table වැනි කෘතීන් ගත්විට යථාර්ථවාදී නවකතා රචකයන් ද සිය කෘතීන්වලදී දැඩි වෙහෙසක් ගෙන තියෙනවා.

මට දැඩි උනන්දුවක් ඇතිකළේ ජෝර්ජ් ඕවෙල්ගේ කෘතීන්, දේශපාලනික කරුණු අළළා ඔහු රචනා කළ Road to Wigan Pier නැත්නම් Homage to Catalonia වගේ රචනාවලට පවා ගැඹුරු පර්යේෂණාත්මක වාර්තාවන් බලපෑවා. සවන්දීම මේ ලියන කරුණුවල සමාරම්භය බව ඕවෙල් පැවසුවා, බොරුව මෙහිදී අනාවරණය විය යුතුයි, කරුණු අවධානයට ලක්කළ යුතු වෙනවා වගේම මේ ක්‍රියාවලිය සෞන්දර්යාත්මක අත්දැකීමට බඳුන් විය යුතුයි.
මින් ලැබුණු උනන්දුවත් එක්ක මානවවිද්‍යාවේ හරයන් හා සහභාගිත්ව නිරීක්ෂණය මගින් සොයාගන්නට හැකි විශේෂ කරුණු ඉදිරිපත් කරන්න වුවමනා වුණා, එය අමුතු දේවල් සාමාන්‍ය දේවල් විදියට දකින්නත් සුපුරුදු දේවල් අමුතු විදියට දකින්නත් තියෙන ආසාවක්, පර්යේෂණයකින් තොරව ඉදිරියේදී දැනගන්නට නොහැකි අනපේක්ෂිත දේවල් අනාවරණය කිරීමේ හැකියාවක්.
Nightmarch කෘතියෙන් ගරිල්ලා භටයන්ගේ දෛනික ජීවිතය ගැන කීම වෙනුවට කිලෝමීටර 250 ක් පුරා ගරිල්ලා පාබල හමුදා කණ්ඩාමත් සමග මහ රෑ, ගන අඳුරේ ගිය ගමන ගැන කීම මගේ මූලික අදහස වුණා, මට මුණගැහුණු විවිධාකාර මිනිස්සු ගැන වෘත්තාන්තයක් රචනා කිරීම වගේම වඩා යහපත් හෙටක් ගැන වූ බලාපොරොත්තුවෙන් ඒ පිරිස අවි අතට ගත්තේ ඇයි කියන කාරණේ වගේම ඔවුන්ගේ හීනය බිඳ වැටුණු අන්දම ගැනත් මෙහි තිබෙනවා.
නැක්සලයිට් ව්‍යාපාරයේ සිටින පුරාකෘතික චරිත ගැන විශේෂ අවධානයක් යොමුකළා. ඒ අතර ඉහළ පැලැන්තියේ බුද්ධිමතුන් නියෝජනය කරන පරමාදර්ශී චරිතයක් වන ගියැන්ජි, ආදිවාසී සෙබළෙකු වන කෝයිල් වගේ කෙනෙකු වගේම විකාස් වැනි දරුණු පුද්ගලයොත් මේ අතර හිටියා. ගරිල්ලා භටයන් සමග අමනාපයෙන් සිටින කාන්තාවක් වන සෝම්වරීත් ඒ අතර ඉන්නවා.
මේ විවිධාකාර පුද්ගලයන් පදනම් කරගෙන ලියැවුණු ප්‍රබන්ධ නොවන කෘතියක් බවට Nightmarch පත්වෙනවා. සමකාලීන ඉන්දියාවේ ජීවත්වෙන මාවෝවාදීන් මුහුණදෙන දුක්මුසු අත්දැකීම් මෙන්ම අතීතයේ හා අනාගතයේ දී පැවති ඔවුන්ගේ බලාපොරොත්තු, විෂමතා හේතුවෙන් පවතින ගැටුම් හා අවිනිශ්චිත තත්වයන් ගැනත් මෙහි සටහන් වී තිබෙනවා. .

Nightmarch කෘතියේ ඉන්න අවිගත් කැරලිකරුවන් ගැන බලද්දි ඉන්දියාවේ පවතින කුල ක්‍රමයේ විසමතාව වගේම සමාජයෙන් පහත්යැයි සලකා සැලකුම් ලබන දලිත් කුලයේ අය පවා නැක්සලයිට් ව්‍යාපාරයට සම්බන්ධ සිටින අයුරු දක්වා තිබෙනවා. මෙහි ඉන්න ප්‍රශාන්ත් වගේ කෙනෙකු විවිධ කුල, ප්‍රදේශ, අධ්‍යාපනික පසුබිම් නියෝජනය කරමින් නැක්සලයිට් පිරිස සමග සම්බන්ධවී ඇති බව පෙනෙනවා. නැක්සලයිට් ව්‍යාපාරයට ඉන්දියාවේ පවතින කුල ක්‍රමය වගේම බලපා අනෙක් සමාජ සාධක බලපා තිබෙන්නේ කොහොමද?
ඔබ කියන කතාව හරි, ඵෙතිහාසික කරුණු ගැන සැලකිලිමත් වුණත් නැක්සලයිට් ව්‍යාපාරයට සම්බන්ධ වී ඉන්න බොහෝදෙනෙකු කොන්කිරීමට ලක්වූ අයයි. මීට කලින් හීනකුල අය ලෙස හැඳින්වූ දලිත්වරු විශේෂයි. කඳුකර හා වනගත ප්‍රදේශවලදී වැඩිපුරම සම්බන්ධ වෙලා ඉන්නේ ආදිවාසීන් නැත්නම් ඉන්දියාවේ ගෝත්‍රික ජනතාවයි. මේ ප්‍රජාව නැක්සලයිට් ව්‍යාපාරය වටා ඒකරාශි වීමට ඔවුන් ගෙනයන කුල පීඩනය හා සූරාකෑමට එරෙහි සටනත් බලපා තිබෙනවා. දලිත්වරුන්ගේ ස්පර්ශයට ලක්වෙන හැමදේම අපිරිසිදු වෙනවා කියලා බොහෝ ප්‍රදේශවලදී ඉහළ කුලවල අය වතුර ගන්න ළිඳෙන් දලිත්වරුන්ට වතුර ලබාගන්නවත් දෙන්නේ නැහැ. ගමේ ඉහළ කුලවල අය ජීවත්වෙන තැන් පසුකරද්දී පාවහන් ගළවා යන්න වගේම ඉහළ කුලවල අය දිහා කෙළින් බලන්නත් ඔවුන්ට ඉඩක් නැහැ. පරම්පරා ගාණක් තිස්සේ සමහර පිරිස් සැලකුම් ලබන්නේ ගොවිකම්වලට යොදා ගන්නා වහල්ලු‍ විදියටයි. ආදිවාසීන් අතිශය ම්ලේච්ඡ හා රෞද්‍ර කොට්ඨාසයක් විදියට ‘ජංග්ලි’ යන නමින් හඳුන්වනවා. මීට ශතවර්ෂ ගාණකට කලින් අධිරාජ්‍යවාදී පාලන සමයේදී ඔවුන්ට අයිති කැලෑව හා භූමිය පැහැරගත්තා. නැක්සලයිට් ව්‍යාපාරයට සම්බන්ධවී ඉන්න නායකයන් බොහෝ දෙනෙකු ඉහළ කුල නියෝජනය කරනවා, මධ්‍යම පංතික පවුල් පසුබිමකින් යුතු මේ පිරිස නැක්සලයිට් ව්‍යාපාරයට සම්බන්ධ වනවිට ඔවුන්ගේ අතීතය අමතක කර දමලා ‘කුලයෙන් තොර’ හා ‘පංතියෙන් තොර’ පිරිසක් විදියට ජීවත්වෙන්න බලාපොරොත්තු වෙනවා. මොවුන්ගේ අරමුණ වෙන්නේ කුලභේදයෙන් හා පංතිභේදයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමයි. ඉතිං ඉන්දියාවේ කොතැනකදීවත් දකින්නට නොලැබෙන දෑ නැක්සල් හමුදාව අතර සිද්ධවෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඉහළ හා පහළ කුලවල පිරිස් එකම පිඟානේ බත් බෙදාගෙන කනවා, වෙන තැනක මේ දේ කළොත් ඉහළ කුලවල අය අපිරිසිදු වෙන බව පවසනවා. නැක්සලයිට්වරු කුලය හා පංතියෙන් මිදෙන්න මේ වගේ කටයුතු අනුගමනය කළාට අතීත පැල්ලම් මකාදමන්න බැහැ.

උසස්යැයි සම්මත කුලවල පිළිගන්නා පිරිමින් හා සමාන සැලකුම් කාන්තාවන්ට ද හිමිකරදීම වැනි යහපත් පුරුදු අතින් ආදිවාසී සමාජය පිරිපුන් බව Nightmarch හි දක්වා තිබෙනවා. මේ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් කළොත්?
මං විඳපු අත්දැකීම් ඇසුරින් කතාකරන්නම්. මට ආදිවාසී අය අතර ජීවත්වෙන්න ලැබුණේ අහම්බයකින් වගේ. නිදහසේ එහේ මෙහේ යන්න වගේම ඉන්දියාවේ අනෙක් ප්‍රදේශවල කළ නොහැකි පර්යේෂණ කටයුත්තක නියැලෙන්න ලැබුණු නිසා මං කොච්චර වාසනාවන්තයිද කියලා තේරුණේ ටික කාලයක් ගතවුණාට පස්සේ. මගේ බයිසිකලේ පැදගෙන නැත්නම් බයික් එකේ, පොදු ප්‍රවාහන සේවාව වුණු ජීප් එකේ රෑ තිස්සේ පවා ගමින් ගමට ගියා. මං තනියම ජීවත් වුණේ බොහොම කලාතුරකින්. ගැහැනු පිරිමි මේ හැමෝම එක්කම තනියම වගේම කණ්ඩායමක් විදියටත් කතාබහ කළා. මේ හැමතැනදීම මං හිටියේ ආදිවාසීන් එක්ක වුණත් කවදාවත් පිරිමි අය ගැන බියක් හෝ ඔවුන්ගෙන් බලපෑමක් වන බව දැනුණේ නැහැ.
නමුත්, මම කාන්තාවක් කියන බවත් මං කරන කියන දේ ගැන සැලකිලිමත් විය යුතු බවත් ආදිවාසීන් ජීවත් වුණු ප්‍රදේශයෙන් බැහැරට ගියාම තේරුම් ගත්තා. ඉන්දියානු සමාජය අතිශය පීතෘමූලික නිසාම ඉහළම පංතියේ පිරිස් හැර අනෙක් අය අතර කාන්තාවන්ට කරන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියලා ප්‍රතිමාන රැසක් හදාගෙන තියෙනවා.
මම හිටියේ ආදිවාසීන් ජීවත්වෙන කැලෑව සමීපයේ තිබෙන බිහාරයේ, ජාකන්ද්වල හිටපු ගොඩක් කාන්තාවෝ මිනිස්සු ඉදිරියේ වේලයෙන් මුහුණ වැහුවේ නැහැ, රැකියාවක් කරන්න කොතැනකටවත් ගියෙත් නැහැ, ගෙදර දොරට පමණක් සීමාවෙලා කාලය ගතකළා, ගෙදර මනුස්සයා වියපැහැදම් ගැන බලාගත්තු නිසා ආර්ථිකමය වශයෙන් ස්වාධීන වෙලා හිටියේත් නැහැ.
ආදිවාසී සමාජය මීට හාත්පසින්ම වෙනස්. පුරුෂ මූලිකත්වයට වෙනුවට කාන්තාවන්ටත් සමාන සැලකුම් ලැබුණා. ගමට සාපේක්ෂව ආදිවාසී සමාජය සමහිමිකම්වාදී බව මේකෙන් අදහස් නොවුණත් කුලවාදය මුල්කරගත්තු සමාජයට සාපේක්ෂව ආදිවාසී සමාජය සමානතාවෙන් අනූන වූ බව මින් පෙනෙනවා. ආදිවාසී කාන්තාවෝ මිනිස්සුත් එක්ක හරි හරියට වැඩකළා, මුහුණු වසාගෙන හිටියේ නැහැ, පිරිමි වගේම ගෙදර හදපු මත්පැන් බිව්වා, මේක ඉන්දියාවේ වෙන කිසිම පළාතකින් ඇහෙන්නේ නැති කතාවක්.
ඉන්දීය සමාජයේ අනෙක් තැන්වල සිද්ධ වෙන විදියට ආදිවාසී කාන්තාවෝ වගේම පිරිමි අතරත් විවාහ වෙන්න කලින් වගේම විවාහයට පස්සේ තියෙන සම්බන්ධතා නිසා කතා අහගන්න වුණේ නැහැ, තමන්ගේ විවාහය ගැන කාන්තාවක් අසතුටුයි නම් සමාජයේ ගැරහුම් ලබන්නේ නැතිව සැමියාගෙන් වෙන්වෙන්න පුළුවන්. ඉන්දියාවේ අනෙක් ප්‍රදේශවල වගේ පීතෘමූලික පවුල් ක්‍රමය ඇතුළේ කාන්තාවෝ හිරවෙලා නැහැ, ඔවුන්ට ගෞරවනීය ලෙස සැලකුම් ලැබෙනවා, ඉන්දීය අනෙක් කුලවල කාන්තාවන්ට සාපේක්ෂව ගරුත්වය හා සමාන සැලකුම් ලැබෙනවා.

මාවෝවාදී ව්‍යාපාරය වටා කාන්තාවන් පෙළගැහෙන්න පවුලෙන් විඳින්න ලැබු ණු විවිධ කරදර, හිරිහැර බලපා තිබෙන බව Nightmarch කෘතියේදී සඳහන් කර තිබෙනවා. ඇත්තටම, මීට වඩා වෙන හේතු කාරණා තිබුණාද? ඔවුන්ට දරුවන් හදාවඩා ගැනීමේ හැකියාව ලැබෙන්‍නෙත් නැහැ. ඒ වාගේම මේ කෘතියේ ඉන්න අනුරාධා වගේ චරිතයක් ගත්විට ඇගේ විශ්වාසය වී තිබෙන්නේ “කාන්තාවන්ට විප්ලවයක් අවශ්‍යයි වගේම විප්ලවයටත් කාන්තාවන් අවශ්‍යයි“ යන්නයි. මේ ප්‍රකාශයේ බලපෑම ඔබේ අත්දැකීම් ද සමග ගළපාගන්නේ කොහොමද?
කාන්තාවෝ ගරිල්ලා කණ්ඩායමට එකතුවෙන්න විවිධ හේතු බලපානවා. ගෙදර ඇතිවුණු රණ්ඩුවලින් බේරෙන්න, නැත්නම් ගරිල්ලා කණ්ඩායමේ ඉන්න පිරිස් එක්ක ප්‍රේම සම්බන්ධතා ඇතිවීම වගේම වෙනස් ලෝකයක අත්දැකීම් විඳගන්න වුවමනා නිසා එකතුවෙනවා. නැක්සලයිට් ව්‍යාපාරය ඇතුළේ විවාහය හා දරුවන් හදාවඩා ගැනීම ගැන තදබල කොන්දේසි තිබෙන බව ඇත්තක්. කාන්තාවක් හා පිරිමියෙකු අතර අතිසමීප සම්බන්ධයක් තියෙනවා නම් ඔවුන් විවාහ කරදීලා පිටමං කරනවා. නමුත්, නැක්සල් හමුදාවට සම්බන්ධ වෙලා ඉද්දි දරුවෝ හදන්න බැහැ. මෙහිදී ඔවුන්ගේ තර්කය වෙන්නේ යුද සමයේදී දරුවෝ රැකබලා ගැනීමේ හැකියාවක් ගරිල්ලන්ට නැති බවයි.
කාන්තාවන්ට දරුවෝ ලැබෙන්න ඉද්දි බොහෝ දුරට ඔවුන් ගරිල්ලා හමුදාවෙන් ඉවත්වෙලා යනවා, දරුවෝ කොහේ හරි තැනකට හෝ වෙන පවුලකට දීලා නැවත පැමිණෙන්නේ බොහොම අතලොස්සයි.
මාවෝවාදීන් තමන් සමානාත්මතාවාදීන් බව සැලකුවත් පීතෘමූලික ආකල්ප ඔවුන් අතරත් බහුලව තිබෙන බව Nightmarch කෘතියේදී සාකච්ඡාවට බඳුන් කළා. ‘කාන්තාවන්ට විප්ලවයක් අවශ්‍යයි වගේම විප්ලවයටත් කාන්තාවන් අවශ්‍යයි’ යන්න මාවෝවාදීන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ නායිකාවක් අනුරාධා ගාන්ධි කිව්වේ ඒ නිසයි. මාවෝවාදී ව්‍යාපාරය ඇතුළේ තියෙන පීතෘමූලිකවාදයට එරෙහිව සටන් කිරීම වැදගත් බව ඇය කිව්වා. / 18 පිටුවට

ඔබ නැක්සලයිට්භටයෙක් විදියට සැරසුණු අන්දම ගැන Nightmarch කෘතියෙන් විස්තර කර තිබෙනවා. “ඔලිව් පැහැ කමිසය හා කලිසම මගේ සිරුරේ ප්‍රමාණයටත් වඩා ලොකුවූ අතර කලිසම යන්තමින් බඳ පටියකින් දවටා ගත්තෙමි. මා කාන්තාවක් යන්න සම්පූර්ණයෙන්ම යටකර දැමු මේ පෙනුම බිමල්ජී පිළිගනීවිද ?. කෙස් වැටිය ද නමා කොළ පැහැ ගරිල්ලා තොප්පියකින් වසාගෙන පිරිමින්ගෙන් පමණක් සැදුම්ලත් ගරිල්ලා පාබළ හමුදා කණ්ඩායම සමග ගමන් කරන්නට පටන් ගතිමි.“මේ විදියට ඇඳ පැළඳගෙන නැක්සලයිට්භටයෙක් විදියට ගෙවපු දවස් හත දැනුණේ කොහොමද?
හ්ම්, ඒ වෙලාවේ මං කළයුත්තේ මේ දේ කියන බව දැනුණා. මානවවිද්‍යාඥයෝ විදියට අධ්‍යයනයට බඳුන් කරන ජනතාව ගැන ගැඹුරින් හැදෑරීමේ පුරුද්දක් අපට තියෙනවා. ඔවුන්ගේ භාෂාව, පූජාවිධි, චාරිත්‍ර වාරිත්‍ර වගේම ඔවුන් සමග එක්වී ගායනය, නර්තනයේ පවා යෙදෙනවා. ඉතිං, ඔවුන්ගේ සාමාජිකයෙකු විදියට සැරසීම අමුතු දෙයක් විදියට නම් ඒ වෙලාවේ දැනුණේ නැහැ. ඔවුන්ව අනුගමනය කරමින් ගැවසුණාට කවදාවත් ඔවුන්ගේ කෙනෙකු බවට අපි පත්නොවී ඒ ජීවිතය, අත්දැකීම් විඳින්න උත්සහ කරනවා. මං නැක්සල් සෙබළෙකු විදියට සැරසුණත් ගරිල්ලාවරු අතර මානවිද්‍යාඥයා විදියටම හිටියා.

කොමියුනිට්ස් විප්ලවය හා ඉන්දියාවේ ආගමික, දාර්ශනික සංකල්ප තුළ අවධානයට ලක්වෙන අභිනිෂ්ක්‍රමණය අතර අඛණ්ඩ සම්බන්ධයක් පවතිනව ාද  ? යන්න ගැන ඔබ Nightmarch හිදී විමසනවා. හින්දු, බෞද්ධ නැත්නම් ජෛන දර්ශනය අනුගමනය කරන ගාන්ධි වගේම නැක්සලයිට් ව්‍යාප ාරයට සම්බන්ධ ගියැන්ජි චරිතයත් එහිදී දක්වනවා. මේ ගැන කිව්වොත්  ?
එකිනෙකට වෙනස් අන්දමේ නිදහස් ව්‍යාපාරයන් වන මේ සංකල්ප දෙක අතර තිබෙන අඛණ්ඩතාව ගැන මං හිතන්න ගත්තේ ඉහළ පැළැන්තියේ නැක්ලයිට් නායකයෝ මුණගැහුණට පස්සේ. මොවුන් කැළෑ වල ජීවත්වෙන්නේ තාපසයින් හෝ සාන්තුවරයින් වගෙයි. තමන්ගේ පුද්ගලික බඩුබාහිරාදිය වගේම පවුලේ උදවිය මේ හැමදේම අතෑරලා දාලා විමුක්තිය හොයාගෙන යනවා. එක අතකට මොවුන් හින්දු සාධුවරයින් හෝ ජෛන පිරිස් හා සමානයි, ගියැන්ජි වගේ චරිතයක් ගත්තොත් ඔහු සිය තරුණ අවදියේදී ගංගා ගඟ අසබඩ ඉඳගෙන නිර්වාණය දකින අරමුණින් භාවනාවේ යෙදී තියෙනවා. ඔහු කොයිතරම් ආගමට ලැදි කෙනෙකු ද කිව්වොත් හින්දු මන්ත්‍ර කියන්නේ නැතිව කූමියෙක් පාගාන්නේ වත් නැහැ.
අතහැරීම යැයි සිතා තමන් මේ යන්නේ වැරදි පාරක බව ඔහු දැනගන්නේ විශ්වවිද්‍යාලයට ගිහිං විවෘත මනසින් යුතු ආචාර්යවරු හා සිසුන් හමුවුණාට පසුවයි, ‘දෙවියන්ගේ මරණය‘ ලෙස ලියැවුණු අත් පත්‍රිකා බෙදාහරින්න පටන්ගන්න ඔහු කොමියුනිට්ස් විප්ලවයට එකතු වෙනවා.
නිදහස හොයාගෙන ආගම පස්සේ යන පිරිස් හොයන්නේ තමන්ට පමණක් සීමා වුණු නිදහසක්, ඒ හරහා සමානාත්මතාවයෙන් යුතු ලෝකයක් වෙත යන්න ඔවුන් දරන උත්සහය හා කොමියුනිට්ස් විප්ලවය අතර දැඩි වෙනසක් තියෙනවා, සමස්ත සමාජයේම නිදහස සොයායන විප්ලවයෙන් සමානාත්මතාවයෙන් පිරිපුන් සමාජයක් මේ මොහොතේදී ගොඩනගන්න උත්සහ ගන්නවා.

නැක්සල් ව්‍යාපාරයට රජයෙන් එල්ල වන බලපෑම හා මේ ව්‍යාපාරයට කළු සල්ලි ලැබෙන්නේ කොහෙන්ද කියන වගත් ගැන Nightmarch කෘතියේදී අමතක කරලා නැහැ.? ඉන්දීය රජය ‘ග්‍රීන් හන්ට්‘ මෙහෙයුමේදී පවා වාසි ලැබූ බව ඔබ දක්වා තිබෙනවා. නැක්සලයිට් ව්‍යාපාරයේදී රජය ඉටුකරන කාර්යභාරය ගැනත් දැනගන්න කැමතියි. ?
රජය මේ ගැටුම සම්බන්ධයෙන් අතිශය අනර්ථකර මැදිහත්වීමක් ඉටුකරනවා. ඒක තැතිගන්වන සුළුයි. ඉන්දීය රජය විසින් ආදිවාසීන්ව දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර ඉන්නවා. ඉන්දියාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙලා වසර 70 ක් ගතවී තිබුණත් මං ජීවත්වුණු ගමේ පවා නළ ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් පවා තිබුණේ නැහැ, නමුත්, ඩොලර් වලින් හම්බකරන බිලියනපතියන් සීඝ්‍රයෙන් දියුණු වෙනවා.
ඊට පස්සේ හදිසියේම වගේ නව සහශ්‍රකයේදී වනාන්තර හා භූමිය ගැන අලු‍ත් පිබිදීමක් ඇතිවෙන්න පටන්ගැනීමත් එක්ක රජය – නැක්සලයිට්වරුන්ට හා ආදිවාසීන්ට සලකන්න ගත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජන තියෙන බව දක්වලා ඔවුන් ත්‍රස්තවාදීන් මැද්දේ ජීවත්වෙන බව සලකමිනුයි.
2010 දී අතිදරුණු කැරලි මර්දන කටයුතු ආරම්භ වීමත් සමග ආරක්ෂක අංශ වල දස දහස් ගාණක පිරිසක් ගරිල්ලා මර්මස්ථාන වෙත යැව්වා. ගරිල්ලා කණ්ඩායම් සමග සටන් කරන්න ඔවුන්ටම ආවේණික ක්‍රම ශිල්ප ඔස්සේ පුරුදු පුහුණු වුණු මේ පිරිස වෙඩි නොවදින වාහන හා යුධ ටැංකි අරන් ආවා.
‘සුද්ධ කිරීමේ මෙහෙයුම’ (සල්වා ජුඩුම්) නමින් රජයේ සහය ලැබුණු අතිදක්ෂ කණ්ඩායමක් චත්තිගර් වල හිටියා, මේ පිරිස ගෙවල් ගිනි තිබ්බා. ගොඩක් මිනිස්සු මරලා දැම්මා, කාන්තාවෝ දූෂණය වුණා මිනිස්සු 350,000 කට උන්හිටිතැන් අහිමි වුණා. අදටත් මධ්‍යම හා නැගෙනහිර දිග ඉන්දියාවේ සිරකඳවුරු පිරිලා තියෙන්නේ නැක්සලයිට්වරු විදියට අල්ලාගත්ත ආදිවාසී මිනිස්සුන්ගෙන්, අවුරුදු ගාණක් නිකරුණේ ඔහේ ගතකරන්න ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා, හිරේදීම වයසට යනවා මිසක් මේ අසාධාරණේ වෙනුවෙන් කවුරුත් සටන් කරන්නේ නැහැ. මේ නඩු අහන්න පටන්ගත්තත් ඒකටත් කාලයක් ගතවෙනවා. මං ජීවත්වුණු ජාකන්ද්වල විතරක් නැක්සලයිට්වරු යැයි චෝදනා ලබා සිරගත කරපු ආදිවාසී මිනිස්සු ගාණ 4000 කටත් වැඩියි.
මානව හිමිකම් ක්‍රියාධරයින් කියන්නේ මේ ප්‍රදේශයේ තියෙන ඛණිජ සම්පත් පහසුවෙන් ලබාගැනීමට අවශ්‍ය මග සකස් කිරීම මේ ආරක්ෂක මෙහෙයුම් පිටුපස තිබුණු අරමුණ බවයි. ආදිවාසීන් ජීවත්වෙන කැලෑ වන ජාකන්ද්, තෙලන්ගානා, ඔරිස්සා, උතුරු ආන්ද්‍ර ප්‍රදේශය ආදියේ වටිනාකමින් අනර්ඝ ඛණිජ සංචිත විසිරී තිබෙන නිසා පතල් කර්මාන්තයේ නිරත සමාගම් වලට මේ ප්‍රදේශ ලබාදෙන්න පොරොන්දු වී තිබෙනවා.
යටත්විජිත යුගයේදී ඉඳන් පැවත එන නීති ක්‍රමය වගේම මීට එරෙහිව ආදිවාසීන් අඛණ්ඩව සටන් කරන නිසා ඒවා ලේසියෙන් අත්පත්කරගැනීමට නොහැකි වීමත් රජයට ප්‍රශ්නයක් වී තිබෙනවා. රජය මැදිහත් වෙලා ආරක්ෂාව තර කරනවා කියලා මෙහෙයුම් දියත් කරන්නේ ඒ නිසයි. ආරක්ෂාව හා කැරලි මර්දනයට සල්ලි වැඩි වැඩියෙන් ගලා ඒමත් බරපතල තත්ත්වයක් උදාකරලා තියෙනවා. නැක්සල්වරු තදබල තර්ජනයක් නොවුණත් මේ කටයුතු වලින් වාසි ලබන අයට ඒ සම්පත් ලබාගැනීමේ වුවමනාව දැඩිව තිබෙනවා. කඳුකරය, මධ්‍යම හා නැගෙනහිර ඉන්දියාවේ ජීවත්වෙන ආදිවාසීන්ගේ ජීවිත වල කම්කටොළු වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගෙන් මේ භූමිය වෙන්කරනවා කියන්නේ මිනිස්සුන්ගෙනුත් එය අයින් කරනවා කියන බවයි. ආදිවාසීන්ගේ ජීවිත හා සංස්කෘතිය විනාශවීම ලොවපුරා දකින්නට හැකි අතිශය ඛේදනීය තත්ත්වයක්.■

වින්ධ්‍යා ගම්ලත්

Advertisements