ජනාධිපතිවරණය වර්ජනය කරමු!

ජනාධිපතිවරණය වර්ජනය කරමු!

Parlimen-boycot

සිය ධූර කාලය නිමවන්නටත් පෙරාතුව වර්තමාන ශ්‍රී ලංකාවේ ජාතිවාදී-ෆැසිස්ට්වාදී කොම්ප‍්‍රදෝරු ආඥදායකයා ජනාධිපතිවරණයක් කැඳවා තිබේ. අද ඔහුගේ ප‍්‍රබල විරුද්ධවාදියා වී ඇත්තේ එම පක්‍ෂයේම සිට දූෂිත ආණ්ඩුවේ වරප‍්‍රසාද භුක්ති විඳි තවත් එවැනිම දූෂිතයෙකි. මේ වන විට ලෝකයේ මෙන්ම ලංකාවේද දේශපාලනය ඓතිහාසික සන්ධිස්ථානයකට සේන්දු වී ඇත.

අපගේ සහෝදර ජනතාව දිගු කලක් රාජපක්‍ෂ ආඥදායක රජයේ යකඩ සපත්තුවට යටවී එහි සියළු මර්ධනයන් ලබා දුන් සියළු වේදනාවන් දරා සිටියහ. එය එහි පතුළටම කුණුවී දුගඳ හමන්නට පටන් ගත් තුවාලයක් වැනිය. ධනේශ්වර ක‍්‍රමය ශක්තිමත් කරගෙන පවත්වාගෙන යාමට සහ ලෝක අධිරාජ්‍යවාදීන්ට මේ භූමිය තුළ ඇති සම්පත් සහ මෙහි ජනතාව සූරා කෑමට එය කදිම සහයක් ලබා දී ඇත.

සිය පුද්ගලවාදී න්‍යාය පත‍්‍රය මෙන්ම ලෝක අධිරාජ්‍යවාදීන්ගේ පඹයෙක් ලෙස ක‍්‍රියා කරමින් ගෝලීය ධනවාදයේ අවශ්‍යතාවයන් ඉටු කිරීම ද එය ක‍්‍රියාවට නැංවීය. සිය දේශපාන බලය තහවුරු කරගැනීමට රදළ-නිළධාරිවාදී යාන්ත‍්‍රණය රට පුරාම අනුක‍්‍රමයෙන් ඉදි කළහ. හැම තැනෙකම ඇති සිය හෙංචයියන් සහ නිළ නොනිළ මැර සහ කුලී හමුදා නඩත්තු කිරීමට ඔවුන්ට තව තවත් ජනතාවට අපා දුක් පටවමින් බදු සහ කොමිස් මුදල් මහා පරිමාණයකින් රැස් කරන්නට සිදුවේ. උතුරු නැගෙනහිර දමිළ නිජ බිම් වල සාරවත් භූමි භාග චීන-ඉන්දීය ව්‍යාප්තවාදී ගිජු ලිහිණියන්ට අහර පිණිස කුණු කොල්ලයට විසි කරන්නට ඔවුන්ට කිසිදු පැකිලීමක් නොවීය.

විපක්ෂය සහ වත්මන් ආණ්ඩුව අතර ප‍්‍රතිපත්තිමය හෝ ක‍්‍රියාකාරීත්වය අතර වෙනසක් ඇතැයි සිතීම මුලාවකි. ඔවුන්ගේ මතුපිට ස්වරූපය පමණක් වෙනස් වේ. මෙයට පෙර යූ.එන්.පී රජය ඇරඹූ සංවර්ධන ක‍්‍රියාදාමයන් (විදේශීය ආයෝජකයින්ට වාසි සහගත) සහ අනෙකුත් ව්‍යාපෘති එලෙසින්ම අඛණ්ඩව පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුව ක‍්‍රියා කළහ. ධනේශ්වර සමාජ ක‍්‍රමය පවත්වාගෙන යෑමට ජනතාවගේ මනෝභාවයන් සංසුන්ව පවත්වාගැනීම වැදගත් වේ. මේ තත්ත්වය කලමනාකරණය කිරීමට ධනේශ්වර පාර්ලිමේන්තුව ඉමහත් පිටුවහළක් වේ. මැතිවරණ වූ කලී සූරාකන්නන්ගේ මූලස්ථානය වන එම ආයතනයට පීඩක නියෝජිතයින් තෝරා පත්කරගන්නා තරඟයයි. අනෙක් අතට ලංකාව සූරා කෑම පිණිස චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති තරඟයේ ක‍්‍රිඩකයින් වන්නේ ද රජය සහ විපක්‍ෂයයි.

සමාජ-ෆැසිස්ට්වාදී, සමාජ ජාතිවාදී ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණයේදී කෙරතම් බංකොලොත්ව තිබේදැයි හෙළිවන්නේ ඔවුන්ට ජනතාව ඉදිරියේ සිය අභිප‍්‍රාය පවා ප‍්‍රකාශ කිරීමට ආත්ම ශක්තියක් නැත්තාහ. වත්මන් ඒකාධිපති රජය බලයට ගෙන ඒමේදී විපුල මෙහෙයක් ඔවුහු ඉටු කළහ. එමෙන්ම මිලේච්ඡ ෆැසිස්ට් අණ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට ඔවුහු සිය දෑත් ඔසවා සහය පල කළහ. සරණාගත ලාංකීය දමිළ පුරවැසියන්ගේ පුරවැසිකම අහෝසි කර ලීම වැනි ෆැසිස්ට්වාදී පනත් කැබිනට් මණ්ඩලයට යෝජනා කරමින්, සිය වාම වෙස්මුහුණ වනමින් ජනතාව මුලා කොට චීන අධිරාජ්‍යවාදීන්ගේ ව්‍යාප්තවාදී ආක‍්‍රමණික ආර්ථික ප‍්‍රතිපත්ති වලට හිතකර වාතාවරණයක් සකසමින් එමෙන්ම ඊට සුදුසු මතවාදයක් කලමනාකරනය කරමින් ඔවුහු මෙරටෙහි දශ ලක්‍ෂ ගණනක පීඩිත ජනතාවට ද්‍රේහී වූහ.

ඔවුහු වරින් වර තමන් මෙරට ඊළඟ විකල්පය බව පවසති. එහි සත්‍යයක් තිබේ. මෙරට ජනතාවට නිල් සහ කොළ යකුන් තිත්ත වූ දිනෙක මේ සූරාකන රාජ්‍ය යන්ත‍්‍රය මෙහෙයවීමට රතු යකෙකු ඉදිරිපත් කිරීමට අධිරාජ්‍යවාදීහු කිසිදු පැකිලීමක් නොදක්වති. ජවිපෙ මෙයට පෙර වාර ගණනකදී සිය අවස්ථාවාදී ව්‍යායාමයන් වලින් ඊට ඇති සුදුසුකම සනාථ කොට ඇත. චීන සහ ඉන්දීය ව්‍යාප්තවාදීන්ට උතුරු නැගෙනහිර භූමිවල සංචිත සම්පත් කොල්ලකෑමට සහ මෙරටට හදිසි සහ ක්‍ෂණික ආර්ථික ආක‍්‍රමණයක් කිරීමට ඉඩ සලසා ගැනීමට සිදු කළ දමිළ සංහාරයේදී ඔවුහු සිදු කළ සේවය අතිමහත්ය. 1,40,000කට වැඩි දමිල පුරවැසියන් ට සිය නිජ භූමිය අමු සොහොනක් කිරීමට රාජ්‍ය කුලී ඝාතක හමුදාවට ආසිරි පැන් ඉසීමේ සිට ෆැසිස්ට්වාදී පනත් කෙටුම්පත් සම්මත කිරීම සහ නින්දිත ජාතිවාදී විෂට, රැල්ලෙන් රැල්ල මෙරට ළපැටියාගේ සිට මහල්ලා දක්වාම ගොදුරු කිරීමට සිදු කළ ශිල්ප දැක්වීමෙන් ඔවුහු අධිරාජ්‍යවාදී ගිජු ලිහිණියන්ගේ මන ෙදාළ සපුරාලූහ. ලක් ඉතිහාසය තුළ ජවිපෙ තරම් ජාතිවාදී වූ දේශපාලන පක්‍ෂයක් තවත් තිබුණේ දැයි සැක සහිතය. ඔවුන්ගේ අවස්ථාවාදී ලාක්‍ෂණිකයට අනුව ඔවුහු සිය දුගඳ හමන අතීත කලූ ලප සඟවන්නට වැර දැරුවද, එකල ප‍්‍රසිද්ධියේ හඬ නැගූ ‘‘සිංහල බෞද්ධ සමාජවාදී රාජ්‍යයක් තැනීමට දමිළ ලේ සයුරක පිහිනන්නට වේය’’ යන ෆැසිස්ටවාදී ප‍්‍රවාදයේ කලූ අවතාරය ජනතාවට කිසි කලෙක අමතක නොවනු ඇත.

එහෙයින් සන්ධාන, ශ්‍රී ලං.නි.ප, යු.එන්.පී හෝ ජේ.වී.පී ලෙස හෝ වෙනයම් මුහුණුවරකින් කිසිවෙක් බලයේ සිටිත්ද, ධනේශ්වර පාලන තන්ත‍්‍රය තුළ එය ජනතාවගේ සුභසිද්ධිය උදෙසා නොවන්නේය. පිය ගැට පෙලක අනුක‍්‍රමයෙන් මේ ක‍්‍රමය තුළ පීඩනය සහ වේදනාව වැඩි වැඩියෙන් ජනතාවට දැනෙන්නට පටන් ගනී. රට තුළ සමස්ත විදේශීය ණය ප‍්‍රමාණය සලකා බැලූ කල එය එක් පුද්ගලයෙකුට හාරලක්‍ෂයට වඩා වැඩි යැයි කියැවේ. රාජපක්‍ෂ රජය බලයට පත්වන විට එය 77,000 පමණ විය. මෙතරම් ණය ප‍්‍රමාණයකින් ජනතාවට අත් වී ඇති ප‍්‍රතිලාභ මොනවාද? ඒ සියල්ල වක‍්‍ර ලෙස නැවත එම ණය පවරන්නන් විසින්ම උදුරා ගනු ලබන අතර ඒවා ඵලදායී නිෂ්පාදන හෝ සංවර්ධිත වැඩ සඳහා යෙදීමට ඔවුහු කිසි කලෙක ඉඩ නොහරින අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් මෙරටට ගෙන ඒමට හෝ මෙහි අමුද්‍රව්‍ය ඒ ඒ රටවල්වල නිෂ්පාදන ක්‍ෂේත‍්‍ර කරා ඉක්මනින් පැටවීමට අධිවේගී මාවත්, වරායවල් සහ ගුවන්තොටුපලවල් තැනීමට යොදනු ලැබේ. මෙරට ජනතාවට අවශ්‍ය කාර්මික නිෂ්පාදන සිදුකළ කම්හල් බොහෝ ගණනක් වසා දමා ඇති අතර විරැකියාව, බුද්ධි ගලනය සීඝ‍්‍ර ලෙස ඉහළ යයි. වැටුප් වැඩි කිරීම් සිදු කළද ඒවා සංඛ්‍යා විජ්ජාවන් පමණකි. ජනතාවගේ මිළදී ගැනීමේ හැකියාව වැටුප් ඉහළ දමන සෑම වාරයකදී ම පෙරට වඩා පහළට ඇද වැටී ඇත. අපේ රුපියල අඛණ්ඩව අවප‍්‍රමාණ වීම කෙතරම්ද යත් පාලනය කළ නොහැකි ලෙස භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යයි. එය ඛණිජ තෙල් හෝ වෙනයම් ආනයනික දෑ හරහා විදුලිය, බස් ගාස්තු, වෙනත් සැපයුම්, ආහාර ද්‍රව්‍ය, කාර්මික නිෂ්පාදන යන මේ සකල විධ භාණ්ඩයන්හි මිළ ගණන්වලට බලපෑම් කරයි.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි පොදු පහසුකම් සීඝ‍්‍ර ලෙස කපා දමා ඇත. සරසවි සිසුන් විරෝධතා නොදැක්වූ එක් සතියක් සොයැ ගැනීම අසීරු තරම්ය. දේශීය සිසුන්ට නිදහස් අධ්‍යාපනයේ ඇති ෙදාරටු වසා දමා එම හිඩැස මිලියන ගණන් අය කරමින් විදේශීය සහ වරප‍්‍රසාද ලත් පැළැන්තියක සිසුන්ට ලබා දෙයි. පෞද්ගලීකරණයේ දුෂ්ඨ හස්තයට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව බිලි ගෙන තිබෙන බව හැම තැනම පිපෙන පෞද්ගලික සරසවි සහ ආයතන, රෝහල් වලින් පෙනී යයි. ධනපති පාලකයින් විසින්ම ලියන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් කිසිවක්, කිසිවෙකුට සුරක්‍ෂිත නැත. මානව හිමිකම් කොමිසම පවා රාජ්‍ය පක්‍ෂපාතීය. අධිකරණය, මුලූමනින්ම අසාධාරණ තීන්දු දෙමින් පාලකයාගේ අභිලාශය අකුරටම ඉටු කරන බව බොහෝ අවස්ථාවන්හි පෙනී යයි. ඒවායේ විනිසුරුවරුන් බියට පත් කරයි, මුදලට යට කරයි, බලපෑමට නතු කරයි, එසේත නැතිනම් ශාරීරිකව විනාශ කරයි.

මාධ්‍ය සඳහා ඇති අවකාශය මීට දෙවෙනි නොවේ. කිසිදු පුරවැසියෙකුට සිය අභිමතය පරිදි සදාචාරාත්මක සිතුවිල්ලක් ජනිත කල නොහැකිය. ප‍්‍රකාශ කළ නොහැකිය. ඒවා රාජපක්‍ෂ හමුදා රජයට පටහැනි නම් පිළිතුරු කුලී ඝාතක ඒකක වලින් සැපයෙයි. සිය පෑන නිභයව මෙහෙයවූ ලලිත්, කූගන් වැනි බුද්ධිමතුන් ආරක්‍ෂක අංශ විසින් පැහරගෙන ගොස් අතුරුදන් කිරීම කාට නම් අමතක වේද? පසුගිය වකවානුවේදී මියගිය නිදහස් මතධරීන්ගේ ගණන කෙතරම්ද? මීට සමාන්තරව සමහර මාධ්‍ය ආයතන නිවට මාධ්‍යකරණයක් ප‍්‍රගුණ කරයි. තොරතුරු ප‍්‍රකාශනයේ මූලික සදාචාරාත්මකභාවය උල්ලංඝනය කරමින් රාජ්‍යගැති ජනතාද්‍රෝහී කුලී මාධ්‍ය බැලයින් දුෂ්ට ප‍්‍රචාරණයේ යෙදෙමින් සිටී. අපේ ආදරණීය දූ පුතුන් ට, සහෝදර පුරවැසියන්ට දිවා රෑ දෙකෙහිම මාධ්‍ය කුණු ගිලින්නට සිදුව තිබේ.

මෙම භූමිය තවදුරටත් මෙහි වැසියන්ට ආරක්‍ෂිත තැනක් නොවේ. රාජපක්‍ෂ රජය දක්‍ෂ ලෙස නව පන්නයක පොලිස් හමුදා පාලනයක් අත්හදා බලමින් සිටී. නිසැක ලෙසම ඔහුගේ ප‍්‍රතිවාදී අපෙක්‍ෂකයා එය තවදුරටත් පෝෂණය කරනු ඇත. ඔහු මැතිවරණ වේදිකාවල පවසන සමහර වදන්වලින් මතු එළඹෙන්නට තිබෙන ෆැසිස්ට් යුගය ගැන සේයාවන් අපට පෙනේ. කදිම දූෂිත හොර නඩයක් ඔහු සමග අත්වැල් බැඳගෙන සිටී. මේ රටෙහි තවමත් කේන්ද්‍රීය ප‍්‍රශ්නය ලෙස ජාතික ප‍්‍රශ්නය තවමත් පවතී. කිසි ලෙසකින්වත් එය විසඳා නැත. නාසි මොඩලයේ වද කඳවුරු වල දමිළ පුරවැසියන් දිනපතා වධ බන්ධනයන්ට ලක්වේ. කාන්තාවන් දිනපතා බෞද්ධ සොල්දාදුවන්ගේ කාම බිලි බවට පත්වේ. ඔවුහු සිය ශරීර කෘත්‍ය කළ යුත්තේද කුලී හේවායන්ගේ ඍජු පරීක්‍ෂාව යටතේයි. දමිළ ලෙස ඉපිද තිබීම වරදක් වී ඇති රටකි මෙය. බෞද්ධ අන්තවාදී කාෂාය ත‍්‍රස්තවාදය ඊට සමගාමීව මුස්ලිම් පුරවැසියන් පෙළමින් ඔවුන්ගේ ජීවිත පෙළයි. එය බිහිකලේත්, නඩත්තු කලේත් වත්මන් ආරක්‍ෂක ලේකම් වරයා විසිනි. බොහො ගැටුම් වලට විශේෂ කාර්ය බලකාය, බුද්ධි අංශ සහ කොමාන්ඩෝ ඒකක ද යෙදවූහ. අලූත්ගමදී මුස්ලිම් වැසියන්, කාන්තාවන් මහ රෑ වෙඩි තබා මරා දැමුවේ යුද හමුදා මිනී මරුවන් විසිනි.

මේ සියලූ ගැටලූ තිබියදී මහා පරිමාණයෙන් කුඩු සහ වෙනත් මත්ද්‍රව්‍ය රට පුරා සංසරණය වන්නේ රාජපක්‍ෂ රජයේ හවුල්කරුවන් වන දේශීය ධනපතියන් කිහිප දෙනෙකුගේ පසුම්බි කලූ සල්ලි වලින් පුරවා ලමිනි. ළපැටි පාසැල් සිසුන් පවා එහි බිලි බවට පත් වී තිබේ. සමහර පෙදෙස්වල පාසැල් දරුවන් සහ තරුණයින් කුඩු බෙදා දෙන්නන් බවට පත් කොට ඇත. ගාමන්ට් සිර කඳවුරු වල සිය රුහිරු මස් දිය කරන තරුණ තරුණියන්ට ජීවිතයේ අවසන් සමය රෝගීන් ලෙස ගත කරන්නට මේ දුෂ්ට ක‍්‍රමය ඉඩ සලසා තිබේ. නැතහොත් ඔවුන් කාමුක ධනේශ්වර සලෙලූන්ට පහසුව සැලසීමට ගණිකා වෘත්තියට බලෙන් හෝ රවටා හෝ බලපෑම් සිදු කොට රැගෙන එති. වැඩි වන සංචාරක කර්මාන්තය ළපටි ළමා කැලට ළමා ගණිකාවන් වීමේ ඛෙදජනක ෙදාරටුව විවර කොට ඇත. පෙර කවරදාටත් වඩා ළමා අපයෝජන සහ ස්ත‍්‍රී හිංසනය අහස උසට නැගී ඇත. නීතිය බොහොවිට කාමාතුර අපරාධකරුවන්ට දඬුවම් නොදේ. ඔබට නගරයක අධ්‍යාපන හෝ සෞඛ්‍ය ආයතන වලට වඩා ස්ත‍්‍රීන් සහ සිසුවියන් නීත්‍යානුකූලව දූෂණය කීරීමේ ගෙස්ට් හවුස් හෝ තානායම් දක්නට ලැබේ. නින්දිත ධනපති මාධ්‍යකරණයට නිර්මාණ ලෙස කාමය සහ ස්ත‍්‍රියගේ නග්න බව හැරුණු විට වෙනත් වස්තු විෂයයන් සොයා ගත නොහැක. අපේ ආදරණීය දරුවන්, අනාගතයේදී මිනිස් වර්ගයාගේ පැවැත්ම නියෝජනය කරන අපේ පැටවුන්ගේ ඉහමොළ දූෂිත කිරීමට, ඔවුන් සහකම්පනයෙන් තොර, අතාර්තික, මිනිසුන් කිරීමට එමෙන්ම දුෂ්ට රදළ සහ විකෘති ධනේශ්වර චින්තාවන්ගේ ගොදුරු බවට පත් කිරීමට ඒවා කටයුතු කරන්නේ මේ ගර්භයටම කුණුවුණු, පීඩක, ධනේශ්වර ආඥදායක ක‍්‍රමය උපද්‍රව රහිතව පවත්වාගෙන යෑමටයි. සිතිය හැකි තාර්කික කිසිවෙකු, මේ ක‍්‍රමයට අවශ්‍ය නැත. ඔවුන්ට අවැසි වන්නේ නිෂ්පාදන යන්ත‍්‍රවල දැති රෝද කරකැවීමට හෝ කුලී සේනාංක වල අවි හරඹ දැක්වීමට හෝ වෙනයම් එවැනිම වැඩක යෙදීමට හැකිතරම් දැනුම් තේරුමක් ඇති, සවියක් ඇති අය පමණි.

මෙතෙකුත් දෑ තිබියදී ඔබට ඊට විරෝධය පෑමට ඔබේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ඔවුහු ඉඩ නොතබයි. ඔවුන් ඔබ ජලය ඉල්ලූ විට හෝ සහනාධාර ඉල්ලූ විට නැතිනම් ජීවත් වීමට ඇති අයිතිය ඉල්ලූ විට ඔවුන්ගේ කුලියට මිනී මරණ සොල්දාදුවන් යොදවා ඔබට වෙඩි උණ්ඩ පොවයි. ඔවුන්ගේ උත්තරීතර නීතිය පැමිණ ඔබව සිර ගත කරයි. වෙනසක් නැතිව ආගමික පූජකවරු ඔබට කිසිදා ලබාගත නොහැකි සිහින වෙනෙුවෙන් බොරු පොරොන්දු ලබා දී ඔබව මුලා කරයි. ඔබ සටන් කළ නොහැකි මොට මිනිසෙකු බවට පත් කරයි. ඔබට ඇති එකම විකල්පය ලෙස සලාක ක‍්‍රමයට පවත්වන දූෂිත මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම බව ඒත්තු ගන්වයි. එය මහා වටිනා දෙයක් ලෙසට ගෝරනාඩු කරයි. ඡන්දය නොදැමීම මහත් අපරාධයක් බව බොහෝ සුළු ධනේශ්වර තක්කඩින් සිය ජීවිතය අහිමිවු කලෙක මෙන් මුමුණයි. අපරාධයක් වන්නේ ඔබේම සහෝදර පුරවැසියන්ගේ බෙලි කැපීමට, ඔවුන්ගේ ලේ උරා බීමට යක්‍ෂයින් රැලකට බලය ලබා දීම උදෙසා වන දුෂ්ට තරඟයට පේ‍්‍රක්‍ෂකයෙකු වී ඡන්දය පාවිච්චි කිරීමයි.

අපි ඔබට ආමන්ත‍්‍රණය කරමු. ඡන්දය වර්ජනය කරමු! අපේම සහෝදර පුරවැසියන් පෙලීමට, ඔවුන්ව තව වටයකින් සූරා කෑමට, මේ ධනේශ්වර ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමට, දුෂ්ට පාර්ලිමේන්තුවාදයට සහය නොදෙමු. ඔබට හැකි එක් පලිගැනීමේ ආකාරයක් වන ඡන්දය නොදී සිටීමේ සටන්කාමී අරගලයට සහය වෙන්න. එය නව වෙනසක් සඳහා, පෙරට තබන එක් සටන්කාමී පියවරකි. ජනතාවට සැබෑ විමුක්තියක් අත් කර ගැනීමට, ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රජයන, නිර්ධන පංති පාලනයකින් යුත් රජයක් බිහි කිරීමට එය අත්‍යවශය. එය සිදු කිරීම මැතිවරණ වලින් සිදු කළ නොහැක. පාර්ලිමේන්තුව ජනතාව සතු ආයතනයක් හෝ ජනතාවට භාවිතා කළ හැකි උපකරණයක් නොවේ. එය ජනතාවගේ වහල් භාවය සනිටුහන් කරන මර්ධනය, දූෂණය, සංත‍්‍රාසය, විනාශය, නූගත්කම සහ අශීලාචාරත්වය ජනතාවට ළඟා කර දීමට වෙහෙසෙන ආයතනයයි.

අනුකම්පා විරහිතව සටන් කිරීමෙන් පමණක් පවතින සමාජ ක‍්‍රමවේදය එහි මුල් සමගම පෙරලා දැමීම සිදු කළ හැක. ඉන් පමණක් ජනතාවගේ ගැටළු විසඳීමේ ක‍්‍රමවේදයට ළඟා විය හැක. පෟතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යටත් විජිත වාදීන්ට එරෙහිව අභීතව වරින් වර ජනතාව සටන් වැද තිබුණි. එලෙසම ඔවුහු නැවත නැවතත් සටන් වදිනු ඇත. අපි එම උරුමය අඛණ්ඩව ගෙන යමු. අද නව යටත් විජිතවාදයට එරෙහිව සහ මෙරට සිටින උන්ගේ දේශීය නියෝජිතයින්ට එරෙහිව අනුකම්පා විරහිත අරගලයක් පූරණය කිරීම සඳහා පෙළ ගැසෙමු!

 ජනාධිපතිවරණය වර්ජනය කරමු!
පාර්ලිමේන්තුවාදය පිටු දකිමු!

මාඕවාදී විප්ලවීය ලීගය (MRL)
2014.12.27

Advertisements

Posted on December 27, 2014, in MRL, Sinhala, Sri Lanka and tagged , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: